ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිගටම බලයේ


ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණය ඊයේ (10) පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී.

ජපාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ට දිගටම බලය තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවස්ථා දෙකකදී හැර ජපානයේ පාලක පක්ෂය ලෙස බලයේ රැඳී සිටී. පසුගිය 8 වැනිදා ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ නියෝජනය කළේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. අබේගේ සීයා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකි.

67 හැවිදිරි ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට සහාය පළ කරමින්, මැතිවරණ රැළියක් අමතමින් සිටිද්දීය. අබේගේ ඝාතනයෙන් පසු සිය පක්ෂයේ මැතිවරණ රැළි අවලංගු කිරීමට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කටයුතු කර තිබුණි.

ජපාන පාර්ලිමේන්තුවේ ආසන 248 න් 125 ක්, ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ‘කවුන්සිලර්’ මණ්ඩලයට හිමිය. ජපන් මාධ්‍ය වාර්තා කළ අන්දමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 63 කට වඩා ජයග්‍රහණය කර තිබුණි. ඒ අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බහුතරය තහවුරු කර ගැනීමට හැකිවිය.

ජපානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ෆුමියෝ කිෂිඩාගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කෙන්ටා ඉසුමිගේ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ නැට්සියෝ යමගුචීගේ ‘කොමෙයිටෝ’ පක්ෂයයි. ඊට අමතරව තවත් දේශපාලන පක්ෂ 6 ක් ද ඊයේ (10) පැවැත්වුණු මැතිවරණයට ඉදිරිපත් විය.

(රොයිටර්)