( තිළිණි ද සිල්වා )
ලෙබනනයේ බීරූට් හි පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද, පිපිරුමෙන් පීඩාවට පත් ලාංකිකයින්ට සහන සැලසීම සඳහා, තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් තිදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.
මෙම හදිසි ආපදා තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එහි සේවාවන් හා උපදෙස් ලබා ගැනීමට විශාල ලාංකිකයන් පිරිසක් යොමුව ඇතැයි ද තානාපති කාර්යාලය කියා සිටී.
මෙම පිරිස් වෙත වියළි සලාක බෙදාහැරීමේ වැඩසටහන අඛණ්ඩව සිදුවන අතර, තවත් විශාල පිරිසක් වියළි සලාක ඉල්ලා සිටින බැවින් සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බළකායේ සාම සාධක භටයන් හා ලෙබනන් බලධාරීන් සමඟ ද ඉතා සමීපව කටයුතු කරන බවද තානාපති කාර්යාලය පෙන්වා දේ.
ලෙබනනයේ මෙම පිපිරීමෙන් මේවනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.