ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක් අවස්ථාවක, ඇමෙරිකාවේ ද විකාශනය වන රුසියන් ටුඩේ රූපවාහිනී පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, කමලා හැරිස් ජනාධිපති වන්නේ නම් තමන් එය ප්‍රිය කරන බවය. පුටින්ගේ මෙම ප්‍රකාශය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වූ අතර, පුටින් ඇමෙරිකන් දේශපාලනයෙන් ඈත් වී සිටිය යුතු බව ඇමෙරිකාව තරවටු කළේ රුසියන් ටුඩේ නාළිකාවට සම්බාධක පනවමිනි. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ට්‍රම්ප් සහ රුසියාව අතරේ මෙන්ම ට්‍රම්ප් සහ පුටින් අතරේ ද යහපත් සබඳතා පවතින බැවින්, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීම රුසියාවට වාසියකි.
චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. 2018 දී, ට්‍රම්ප්, ජනාධිපති ධුරය හොබවද්දී, ඩොලර් බිලියන 250 ක චීන ආනයන සඳහා තීරුබදු පැනවමින් චීනය සමඟ වෙළඳ යුද්ධයකට මුල පිරුවේය. චීනය ද එකට එක කිරීමක් ලෙස ඇමෙරිකාවට ඩොලර් බිලියන 110ක් මත තීරු බදු පැනවීය. මේ වෙළෙඳ යුද්ධය, ට්‍රම්ප්ගෙන් පසු, බයිඩන් ජනාධිපති ධුරයට පත්වුණු අවස්ථාවේදී පවා වෙනස් වූයේ නැත. එසේ වුවත්, කමලා හැරිස් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වෙනවා දැකීමට චීනය කැමැති වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් ද පෙන්වා දී තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ කමලාට හෝ ට්‍රම්ප්ට හෝ කැමැත්ත පළ කර නැත. ඇමෙරිකාවේ යුදෙව් ඡන්ද අපේක්ෂාවෙන්, ට්‍රම්ප් මෙන්ම කමලා ද ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දෙයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන සටනේදීත්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගන්නා ඕනෑම තීරණයකදීත් කවුරු ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියත් ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් පවතී. 2019 දී, ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බව පවසමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින්, ඇමෙරිකන් තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කළේ ද ට්‍රම්ප් මැදිහත් වෙමිනි. එදා ට්‍රම්ප් ගත් මෙම තීරණය ඊශ්‍රායල පලස්තීන අර්බුදය උත්සන්න කිරීමට හේතුවක් විය. එහෙයින්, ට්‍රම්ප් කමලා හැරිස්ට වඩා ඊශ්‍රායල යුදෙව් රාජ්‍යයේ මිතුරකු වනු ඇතැයි යන්න රහසක් නොවෙයි.
යුරෝපා රටවල් බොහොමයක් ට්‍රම්ප්ට අකමැති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින් ප්‍රසිද්ධියේ නොකීවත්, බටහිර යුරෝපා රටවල් කමලා හැරිස්ට සහාය දක්වනු ඇත. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සෘජුව කමලා හැරිස්ට සහාය දක්වයි. ඒ, ට්‍රම්ප්, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් තැකීමක් නොකරන බව ප්‍රසිද්ධියේ පවසා ඇති බැවිනි.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව කැනඩාව සහ යුරෝපා බටහිර රටවල එකමුතුවෙන් පිහිටුවා ගත් යුද සන්ධානයයි. නේටෝ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට උත්සාහ ගත්තේය. නේටෝවට ආධාර ලබා දීම සහ සාමාජික මුදල් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළේය. ඒ, ඇමෙරිකාවට සහ ඇමෙරිකන් වැසියන්ට මුල් තැන දීම ඊට වඩා ප්‍රයෝජනවත් බව පෙන්වා දෙමිනි. එහෙයින්, මෙවර ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් ජයග්‍රහණය කරනු දැකීම යුරෝපා රටවලත්, නේටෝවේත් අපේක්ෂාව වනු ඇත.
ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සබඳතා වර්ධනය වූයේත් ශක්තිමත් වූයේත් ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලය අවසන් වෙද්දීය. ට්‍රම්ප්ට වඩා මෝදි ශක්තිමත් මිත්‍රත්වයක් වර්ධනය කර ගත්තේ බයිඩන් සමඟය. රුසියන් යුක්රේන යුද්ධයේ දී පවා මෝදි රුසියන් ජනාධිපති පුටින් සමඟත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟත් යහපත් සබඳතා පවත්වයි. ඒ, ඇමෙරිකාවේ කිසිදු බලපෑමකින් තොරවය. 2020 දී ජෝ බයිඩන්, ට්‍රම්ප් පරාජය කරමින් ජයග්‍රහණය කළ අවස්ථාවේ, බයිඩන්ට පළමුවෙන්ම සුබ පැතූ ලෝක නායකයකු වන්නේ ද මෝදිය. චීනය එදිරිවාදියකු වෙද්දී, ආසියානු කලාපයේ තම බලය විදහා පෑමට, ඇමෙරිකාවට ඉන්දියාවේ සහාය අවශ්‍යය. ඒ නිසාම, බයිඩන් පරිපාලනය ඉන්දියාව ඇමෙරිකාවේ ප්‍රධානතම ආරක්ෂක හවුල් කර බවට ද පත් කරගෙන සිටී. මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට වඩා, කමලා හැරිස් ජනාධිපති වන්නේ නම්, මෝදි රජය ඊට කැමැති වනු ඇත. කමලා හැරිස්ට ඉන්දීය සම්භවයක් ද තිබීම, ඉන්දියාවට ආඩම්බරයක් වනු ඇත.ඉන්දු පැසිෆික් කලාපයේ, ඇමෙරිකාවේ ප්‍රධානතම සගයකු වන්නේ දකුණු කොරියාවය. බයිඩන් පරිපාලනය යටතේ ඇමෙරිකාවත් දකුණු කොරියාවත් අතර සබඳතා ශක්තිමත් විය. එහෙයින් ට්‍රම්ප්ට වඩා දකුණු කොරියාව කමලා හැරිස් ප්‍රිය කරනු නිසැකය.
ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට ද පැමිණියේය. හමුව පැවැත්වූයේ උතුරු සහ දකුණු කොරියානු දේශසිමාවේදීය. එදා දකුණු කොරියානු ජනාධිපති ධුරය හෙබවූයේ මූන් ජේ ඉන් ය. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යුද උණුසුම වර්ධනය වී ඇත. රුසියනු යුක්රේන යුද්ධයේ දී රුසියාවට සහාය දීමට ද උතුරු කොරියාව ඔවුන්ගේ හමුදා සෙබළුන් 10,000 ක් යවා ඇතැයි ද පැවැසෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජනාධිපති වුවහොත්, ඔහු සහ නායක කිම් ජොන් උන් අතරේ යළි යහපත් සබඳතා වර්ධනය වීමට ඉඩ ඇත.
ජපානය සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා පවතී. ජපානයට ඇමෙරිකාවේ හමුදා සහාය නොඅඩුව හිමිවෙයි. ට්‍රම්ප් අනුගමනය කරන්නේ, ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දෙන ප්‍රතිපත්තියකි. එහෙයින්, ජපානයට ඇමෙරිකාවෙන් ලැබෙන සහාය අඩුවනු ඇති අතර, ජපානයට ඇමෙරිකාව තීරු බදු පැනැවීමක් ද සිදු කරනු ඇත. එහෙයින්, ට්‍රම්ප්ට වඩා කමලා හැරිස්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වනු දැකීමට ජපානය ප්‍රිය කරයි.
ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවේ මිතුරෙකි. ට්‍රම්ප් පරිපාලනය පැවැති අවස්ථාවේදී ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව අතරේ මිතුදම් පළුදු වී තිබුණි. එහෙයින්, ට්‍රම්ප් යළි ඇමෙරිකන් ජනාධිපති පුටුවට පැමිණෙනු දැකීම ඕස්ට්‍රේලියාව ප්‍රිය නොකරනු ඇත. ලෝකයේ සියලුම රටවල් එකමුතු වී, වායු විමෝචනය අවම කර ගනිමින්, දේශගුණික විපර්යාස පිටුදැකීමට ප්‍රංශයේ පැරිස් අගනුවර දී ඇති කරගත් එකඟතාව පැරිස් සම්මුතියයි. මෙම සම්මුතිය සකස් කළ රටවල් අතරේ ඕස්ට්‍රේලියාව ද සිටී. තමන් යළි ජනාධිපති වුවහොත් පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඒ අනුව, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීම, ඕස්ට්‍රේලියාව කැමැත්තක් දක්වන්නේ නැත. ඕස්ට්‍රේලියාව, චීනය සමඟ යහපත් වෙළෙඳ ගනුදෙනු පවත්වයි. ට්‍රම්ප් ජනාධිපති වීම ඊට බාධාවක් වෙයි. එය චීන ආර්ථිකයට ගැටලුසහගත වනු ඇත.