ලෝක බැංකුවෙන් යුක්රේනයට දිගට හරහට මුදල් ආධාර


රුසියන් ආක්‍රමණයෙන් බැටකන යුක්රේනයට තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව ඊයේ (7) තීරණය කළේය.

ඒ අනුව, මේ වනවිට ලෝක බැංකුවෙන් පමණක් යුක්රේනයට ලැබී ඇති ආධාර මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොරල් බිලියන 4 ක් බව පැවැසෙයි.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි මාසයේය. එම හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් යුක්රේනයේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණි.

රුසියන් ප්‍රහාර හේතුවෙන් නගර සහ නිවාස දස දහස් ගණනින් මුළුමනින්ම විනාශ වී තිබේ. යුද්ධය හේතුවෙන් යුක්රේන රජයට, නියමිත පරිදි ඔවුන්ගේ කටයුතු කරගෙන යෑමට ද නොහැකි වී තිබේ.

ලෝක බැංකුව ඊයේ (7) ලබා දීමට තීරණය කළ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදල, රාජ්‍ය සේවකයන් සහ සහන සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා යොදා ගන්නා බව යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)