ලෝකයා අපට දඩුවම් කරනවා


‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම හේතුවෙන් ලෝකයා තමන්ට දඬුවම් කරන්නේ යැයි දකුණු අප්‍රිකාව සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවනේ හඳුනාගත් කොවිඩ්-19 වයිරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය හේතුවෙන් ලොව රටවල් බොහෝමයක් මේ වනවිට දකුණු අප්‍රිකාවට සංචාරක තහනම් සහ සීමා පනවා ඇත.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයේ තවත් අංශ රැසකට දරුණු බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.

දකුණු අප්‍රිකාව ලොව හොඳම වසංගතවේදීන් සහ විද්‍යාඥයන් සිටින රටවලින් එකක් වන අතර ඔමික්‍රෝන් වයිරසයේ මුල් අවධියේදීම එය සොයාගැනීමට දකුණු අප්‍රිකාවේ වසංගතවේදීහු සහ විද්‍යාඥයෝ සමත්වූහ.

එමෙන්ම එහි විකෘතිතා ඒවායේ මුල් තත්ත්වයේදීම සොයාගැනීමට ද ඔවුන් සමත්ව ඇත.

මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය වූවන් බෙල්ජියම, බොට්ස්වානා, ඊශ්‍රායලය සහ හොංකොං යනාදී රටවල් කිහිපයකින් හමු වී ඇත.

“දකුණු අප්‍රිකාව සතුව උසස් ජානමය අනුක්‍රමය (ජානමය පරීක්ෂණ) තිබෙනවා. එමඟින් නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගන්න හැකියාව තිබෙනවා. දකුණු අප්‍රිකාව ඉතා ඉක්මනින් නව ප්‍රභේදය සොයාගැනීම නිසා ලෝකයා දකුණු අප්‍රිකාවට දඬුවම් කරලා” යැයි දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සහයෝගීතා අමාත්‍යාංශය සඳහන් කළේ ය.

“විද්‍යාවේ විශිෂ්ටත්වය ඇගයිය යුතු යි. ඊට දඬුවම් නොකළ යුතු” යැයි ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

(රොයිටර්)