වසර 3000 කට වඩා දිගු ඉතිහාසයක් ඇති, විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නගරයක් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මෙම නගරය හමුවී ඇත්තේ ඊජිප්තුවේ දකුණු පළාතේ පිහිටි සුප්‍රකට කඳුකර ප්‍රදේශයකිනි. එය ශතවර්ෂ ගණනාවක් තිස්සේ වැල්ලෙන් වැළලී තිබූ බව ඊජිප්තු පුරාවිද්‍යඥයෝ බ්‍රහස්පතින්දා (8) නිවේදනය කළහ.
මීට වසර 3400 කට පෙර දී මෙම නගරය ඉදිකර ඇත්තේ ඊජිප්තුවේ බලවත්ම පාරාවරුන්ගෙන් කෙනෙකු වන තුන්වැනි අමෙන්හොටෙප්ගේ පාලන සමයේ දී බව කැණීම් කටයුතු අධීක්ෂණය කළ ඊජිප්තු පුරාවිද්‍යාඥ සහී හවාස් මහතා පවසයි.
‘වැල්ලෙන් වැළලුණු නගරය සොයා ගත්තා ’ යැයි ආචාර්ය සහී හවාස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉතා හොඳින් සංරක්ෂණය වී තිබූ මෙම නගරය සොයාගැනීම ටුටන්කාමන්ගේ සොහොන් කොත සොයාගැනීමෙන් පසුව කළ විශිෂ්ටතම සොයාගැනීම බව ඊජිප්තුව කියයි.
අමෙන්හොටෙප් රජුගේ කාලයේදී භාවිතා කරන ලද නාමය කෙටූ මුද්දක්, වර්ණ ගන්වන ලද මැටි බදුන්, බේකරි සහ පෝරණු, සම්පූර්ණ බිත්ති, කාමර, ස්වර්ණාභරණ සහ එදිනෙදා ජිවිතයේ දී භාවිතා කරන මෙවලම් මෙම නගරය තුළ තිබී සොයා ගෙන තිබේ. නගරයේ වීදි ගෙවල් වලින් වට වී ඇති අතර ඒවායේ බිත්ති සමහරක් මීටර් තුනක් පමණ උසින් යුක්ත බව හවාස් මහතා කීවේය.
‘මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක්’ යැයි එක්සත් ජනපදයේ පිහිටි පුරාණ ඊජිප්තු උරුම හා පුරාවිද්‍යා අරමුදලේ අධ්‍යක්ෂ පීටර් ලකෝවරා මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය. බොහෝ විදේශීය කණ්ඩායම් මෙම සැඟවූණු නගරය සෙවූ අතර එය කිසිවෙකුටත් සොයාගත නොහැකි විය.
මෙම නගරය මතුකරගැනීම සම්බන්ධයෙන් ඊජිප්තුවේ මෙහෙයුම් කාර්යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙය ක්‍රි.පූ 1,390 දී පමණ ආරම්භ වූ III වන අමෙන්හොටෙප්ගේ පාලන සමයට අයත් නගරයකි. එය “ඒටන්ගේ නැඟීම” ලෙසද හඳුන්වනු ලබන අතර පසුව ටුටන්කාමන් ඇතුළු අනුප්‍රාප්තිකයන් විසින් භාවිතා කරන ලදී.
"එය එක්තරා ආකාරයකින් පුරාණ පොම්පෙයි නගරය වගේ. එම කරුණම මෙම ප්‍රදේශය පුරාවිද්‍යා උද්‍යානයක් ලෙස සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි" යනුවෙන් වසර 20 කට වැඩි කාලයක් මල්කාටා මාළිගා ප්‍රදේශයේ සේවය කළ නමුත් කැණීම්වලට සම්බන්ධ නොවූ ලකෝවරා පැවසීය.
පිළිම දහස් ගණනක සුන්බුන් සමඟ වීදුරු සහ පිඟන් බඩු සෑදීම සඳහා ගන්නා උඳුන් හා පෝරණු විශාල ප්‍රමාණයක් එහි අඩංගු බව අමෙන්හොටෙප් III ගේ පාලන සමයේ විශේෂඥයකු වන බෙට්සි බ්‍රයන් මහත්මිය පැවසුවාය.
" III වන අමෙන්හොටෙප් වැනි ශ්‍රේෂ්ඨ හා ධනවත් පාලකයෙකු යටතේ පැවැති නිෂ්පාදන මධ්‍යස්ථාන සොයා ගැනීම සඳහා මෙන්ම ඒ කාලයේදී ඊජිප්තුවරුන් කළ දේ පිළිබඳ විස්තර මේ මගින් විවර වේ. මෙය ඉදිරි වසර ගණනාව තුළම අපට දැනුම ලබා දෙනු ඇත." යයිද බෙට්සි බ්‍රයන් මහත්මිය පැවසුවාය.