ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමෙන් 174 දෙනකු ජීවිත්ක්ෂයට පත් වීමත්, 200 දෙනකු තුවාල ලැබීමත් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප්‍රාන්ත බලධාරීන්ට උපදෙස් දී තිබේ.
එම විමර්ශන අවසන් වනතුරු පාපන්දු තරග පැවැත්වීම තහනම් බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත. තෙරපීම හටගත්තේ ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ මලංග් නමැති නගරයේ, කංජුරුහාන් ක්‍රීඩාංගනයේ, පාපන්දු තරගයක් අවසානයේදීය.
පාපන්දු තරගය පැවැත්වූයේ ‘අර්මියා එෆ්.සී.’ සහ ‘ප්‍රෙෂ්බායා සුරාබායා’ නමැති පාපන්දු කණ්ඩායම් දෙක අතරේය.
‘අර්මියා එෆ්.සී.’ නැගෙනහිර ජාවා ප්‍රාන්තය නියෝජනය කරන පාපන්දු කණ්ඩායමය. මොවුන්, 3 ට දෙකක් ලෙස ‘ප්‍රෙෂ්බායා සුරාබායා’ කණ්ඩායම හමුවේ පරාජය විය.
‘අර්මියා එෆ්.සී.’ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ට එම පරාජය දරාගත නොහැකි වූ අතර ඔවුහු කලහ කිරීමට පටන් ගත්හ. කලහකාරී පිරිස් ක්‍රීඩාංගනය ඉදිරිපිට නවතා තිබුණු මෝටර් රථවලට පවා ගිනි තබන්න වූහ. කලහකාරීන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය කැඳවිණි. තෙරපීම හටගත්තේ පොලිසිය පැමිණ කලහකාරී ප්‍රේක්ෂකයන්ට පහර දෙමින්, ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කරද්දීය.
පාපන්දු ක්‍රීඩාංගනයේ ඉඩ ඇත්තේ නරඹන්නන් 38,000 කට පමණක් බවත් 42,000 ක් සඳහා ප්‍රවේශපත් අලෙවි කර තිබුණු බවත් පසුව අනාවරණය විය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ක්‍රීඩාංගනයක සිදුවුණු දරුණුතම ඛේදවාචකයක් ලෙස මෙම තෙරපීම හැඳින්විය හැකි බවය.
(රොයිටර්)