වූහාන් නුවර මිලියන 11 ටම වෛද්‍ය පරීක්ෂණ


'කොවාඩ් 19' වයිරස ආසාදිතයන් සෙවීමට, මධ්‍යම චීනයේ වූහාන් නුවර වාසය කරන මිලියන 11 ක පිරිස සම්පූර්ණයෙන් කොරෝනා හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ අවසන් යැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

'අවුරුදු 6 ට වැඩි සියලුම වූහාන් වැසියන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ආසාදිතයන් හඳුනා ගැනීම කළා.' යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ වූහාන් නුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය.

ඒ අනුව ආසාදිතයන් 37 දෙනකු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, එම ආසාදිතයන් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගත් බවත් වූහාන් සෞක්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

'කොවිඩ් 19' වයිරස වසංගතය ආරම්භ වූයේ 2019 වසරේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. කෙසේ නමුත් මේ වනවිට යළි වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ වසරකට පමණ පසුවය.

වූහාන් නගරයෙන් යළි ආසාදිතයන් වාර්තා වූ සැණින්, නගරය මුළුමනින්ම වසා දැමීම කළේ, කිසිවකුටවත් නගරයට ඇතුළු වීමට හෝ පිටවීමට ඉඩක් නොතබමිනි.

නගරයේ මිලියන 11 ක පිරිස වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය සේවකයන් 28,000 ක් යෙදවුණු අතර, නගරයේ ස්ථාක 2,800 කදී ජනතාව එම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම සිදුවිය.

(රොයිටර්)