සංස්කරණ ශිල්පිනියට දඩ


රුසියාවේ රුපවාහිනී නාලිකාවක සජීවී පුවත් විකාශය අතරතුර නිවේදිකාවට පිටු පසින් යුද්ධය එපා යනුවෙන් සඳහන් කළ පුවරුවක් රැගෙන උද්ඝෝෂණයේ නිරත වූ මරීනා ඔව්සියැනිකෝවා හට රුසියානු අධිකරණය විසින් රූබල් 30000 (ඇමෙරිකන් ඩොලර් 280 ක) දඩයක් නියම කළේය.

දෙදරු මවක් වූ මරීනා සංස්කරණ ශිල්පිණියක ලෙස චැනල් 1 නාලිකාවේ සේවය කරන අතර රුසියාවේ වැඩිම පිරිසක් නරඹන චැනල් 1 සජීවී  පුවත් විකාශයට බාධා කරමින් ”යුද්ධය එපා.යුද්ධය පිළිබඳ ප්‍රචාරය කරන මතය විශ්වාස කරන්න එපා.මේගොල්ලො ඔයගොල්ලන්ට කියන්නේ බොරු”යැයි සඳහන් කළ පුවරුවක් රැගෙන සටන් පාඨ කියා ඇත.

නීති විරෝධී ලෙස උද්ඝෝෂණය කිරීම හේතුවෙන් රුසියානු අධිකරණයේ නඩුවක් පැවරුණු අතර එහිදී ඇය වරද  පිළිගත්තේ නැත.නමුත් නඩුව අවසානයේ තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් මරීනා වරදකරු කරමින් ඩොලර් 280 ක දඩයක් නියම කළේය.

නීති විරෝධී උද්ඝෝෂණකරුවන් දවස් 10 ක් වා රඳවා ගැනීමට හැකියාව තිබෙන අතර මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශිකා රවීනා ශම්දසානි රුසියාවට ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මරීනාගේ  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය  ආරක්ෂා කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම නිසා ඇයට දඬුවම් ලබා නොදෙන ලෙසත්ය.

(රොයිටර්)