සඳට යන්න අලුත් ඇඳුමක්


ඇමරිකාවේ නාසා ආයතනය, යළිත් මිනිසුන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, නාසා ආයතනයේ ‘ආර්ටිමිස්’ මෙහෙයුම යටතේය. ‘ආර්ටිමිස්’ පළමු පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා වූයේ පසුගිය 2022 දීය.

දෙවැනි පුහුණු මෙහෙයුම 2024 පැවැත්වීමට නියමිතය. නාසා ආයතනය සඳ මතට ගගනගාමීන් යැවීම සිදු කරනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. විශේෂත්වයක් වන්නේ, මෙම ‘ආර්ටිමස්’ මෙහෙයුම යටතේ පළමු වරට පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමියකු ද සඳට පය තැබීමය.

එම සඳ ගමනේ දී නාසා ගගනගාමීන් පලඳින ඇඳුම් කට්ටලය එළිදැක්වීමට නාසා ආයතනය පසුගියදා කටයුතු කළේය. නාසා ආයතනයේ තාක්ෂණ ශිල්පීන් මෙම ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඒ ඒ ගගනගාමියාට හෝ ගගනගාමිනියට හෝ සුදුසු ගැලපෙන අයුරින් බව මාධ්‍ය හමුවේ දී පැහැදිලි කෙරුණි. නාසා ආයතනය මෙම ඇඳුම් නම් කර ඇත්තේ ‘මීළඟ පරම්පරාවේ’ ගගන ඇඳුම් යනුවෙනි.

ගගන ඇඳුම් කට්ටලය එළිදැක්වීම සිදුවූයේ හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය. ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ ‘සියොම් ස්පේස්’ සමාගමය.

‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා ගගන ඇඳුම් නිර්මාණය කිරීමේ ඇමරිකන් ඩොලර් මිලියන 228.5 ක කොන්ත්‍රාත්තුව නාසා ආයතනය ලබා දී ඇත්තේ ‘සියොම් ස්පේස්’ සමාගමටය.

2025 න් පසු ආරම්භ වන ‘ආර්ටිමිස්’ මෙහෙයුමෙන් පසු රතු ග්‍රහයා හෙවත් අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නිසා ආයතනය සූදානම් වෙයි.

(ඒ.එෆ්.පී.)