සමරිසි විවාහ ආරක්ෂා කරන්න නව නීතියක්


ඇමෙරිකාවේ සමරිසි අයිතීන් සුරකිමින්, සමරිසි විවාහ ආරක්ෂා කිරීමේ නව නීති සම්පාදනය කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය.

මෙය ඇමෙරිකන් ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘විවාහ පනතට ගරු කිරීම’ යන නමින් එම අදාල පනත් කෙටුම්පතට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කළේ ධවල මන්දිරයේ ගෙවත්තේ සිටය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා පනත් කෙටුම්පතට අත්සන් කළේ කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දුන්නේ පසුගිය දෙසැම්බර් 8 වැනිදාය. එය පසුගිය නොවැම්බරයේ සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වී තිබුණි.

‘අද බොහොම හොඳ දවසක්. සමරිසි අයිතීන් තහවුරු කිරීමට ඇමෙරිකාව අද පියවර ගත්තා. නිදහස සහ යුක්තිය එක් පාර්ශ්වයකට පමණක් සීමා විය යුතු නැහැ. හැමෝටම අවශ්‍යයි. අද සිදුවුණේ එයයි.’ යැයි පනත් කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු බයිඩන් පැහැදිලි කළේය.

උප ජනාධිපතිනී කමලා හැරිස් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් ඇතුළු සමරිසි විවාහ අනුමත කරන සියයකට වැඩි පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.

ඔබමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය. සමරිසි අයිතීන් වෙනුවෙන් බයිඩන් සිය හඬ අවදි කළේ ඔබාමා පරිපාලනය පැවැති සමයේ සිටය.

(ඒ.එෆ්.පී.)