‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් අනතුරුව ස්වයං-නිරෝධායනය විය යුතු කාලය අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබෙන අතර දැනට තිබෙන සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු ය.
වයිරසය නිරාවරණය අය සහ වයිරස ආසාදිත රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීම තුළින් අදාළ කාලසීමාව අඩු කරගැනීමට හැකියාව ඇතැයි එම නිලධාරියා කීය.
‘‘දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් තිබෙනවා. පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීම තුළින් නිරෝධායනය විය යුතු කාලය දින 14 සිට තවත් අඩු කිරීමට හැකියාව තියෙනවා’’ යැයි ද එම නිලධාරියා පැවැසීය.
කෙසේ නමුත් එම කාලය කොතරම් වනු ඇත්දැයි ඔහු සඳහන් නොකළේය.
නව නිරෝධායන කාලසීමාව දින හතත් දහයත් අතර වනු ඇතැයි ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අඟහරුවාදා වාර්තා කර තිබිණි. ඒ දින තුළදී ඔහුට තවදුරටත් වයිරසය තහවුරු නැතැයි තහවුරු කිරීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කීය.
කෙටි නිරෝධායන කාලසීමාවට ජනතාවට අනුකූල වීමට සිදුවනු ඇතැයි ද කෙසේ නමුත් මේ හේතුවෙන් ඇතැම් ආසාදිතයන් මගහැරෙනු ඇතැයි ද සෞඛ්‍ය නිලධාරියකු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය ගෙන නැති විශේෂඥයන් දැනට තිබෙන දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවත් ජනතාවට අවදානමේ හෙළීමට කිසිවකුටත් අවශ්‍ය නැති බවත් එම නිලධාරීය කීවේය.
‘කොවිඩ්-19’ පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඇමෙරිකානු ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.
ඇමෙරිකානු සෞඛ්‍ය අංශ මේ වනවිට වයිරස ආසාදිතයන් හඳුනාගන්න ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 40ක් බෙදාහැර ඇතැයි ද පැවසේ. ඇමෙරිකානු රජය ‘ඇබට් ලැබෝරටරීස්’ සමාගමෙන් ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 150ක් මිලදී ගැනීමට එකඟතාව පළ කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන මේ වනවිට 172,000ක් ලෙස දැක්වෙන අතර මේ මස මුල සිට ඇමෙරිකාවෙන් 100,000 ඉක්මවා ආසාදිතයෝ වාර්තා වෙති.
ඇමෙරිකාවෙන් අඟහරුවාදා වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 259,000ක් ලෙස දැක්වුණු අතර එරටින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 12.5ක් වේ.
රොයිටර්
( 055)