සාවෝ පවුලෝ නුවර පුද්ගලයෙකුටත් කොරෝනා


සාවෝ පවුලෝ නුවර වැසියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය (26) අද නිවේදනය කළේය.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය.

ඉතාලියේ ලොම්බාඩි සිට පැමිණි 61 හැවිරිදි පුද්ගලයකුට එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්ගත් කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමකට ලක්වූ රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියේද වැඩිම බලපෑමකට ලක්වූ ප්‍රදේශය බවට පත්ව ඇත්තේ ලොම්බාඩි ප්‍රදේශයයි.

සාවෝ පවුලෝ යනු බ්‍රසීලයේ විශාලතම නගරය වන අතර මිලියන 12කට වැඩි පිරිසක් එහි ජීවත් වෙති.

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 20 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.

055