සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 80 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා දෙකම ලබා දී අවසන් බවත්, ලොව වැඩිම පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර ඇත්තේ සිංගප්පූරුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7 කි.
සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 80 කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන්. ඒ නිසා ඉදිරියේ දී පනවා ඇති තහංචි තව දුරටත් ලිහිල් කිරීමක් සිදුවේවි. එසේ කරන්නේ ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කරාවි විශ්වාසයෙන්' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැති ඔංග් යේ කුංග් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමිරේට්ස්, උරුගුවේ සහ චිලී රාජ්‍යයයි.
සිංගප්පූරුව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. සිංගප්පූරු වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දේනනේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත්ය.
පසුගිය 28 වැනිදා වනවිට සිංගප්පූරුවෙන් නව ආසාදිතයන් 113 දෙනකු වාර්තා විය. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 67,171 ක් තෙක් ඉහළ ගියේය. සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 55 කි.
(රොයිටර්)