සුනාක්ගේ නව කැබිනට් මණ්ඩලය


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සිය කැබිනට් මණ්ඩලය පත් කර අවසන්ය. හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුට ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇති අතර ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇත.

එහිදී සුඑල්ලා බ්‍රේවර්මන් ට යළිත් වරක් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිවුණ අතර ඩොමිනික් රාබ් හට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමි විය. මෙය බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් විය.

ජෙරමි හන්ට් ට මුදල් අමාත්‍ය ධුරයත් ජේම්ස් ක්ලෙවර්ලි හට විදේශ කටයුතු අමාත්‍ය ධුරයත් හිමිවූ අතර බෙන් වොලස් හට ආරක්ෂක අමාත්‍ය ධුරය හිමි විය.වෙළඳ අමාත්‍යවරයා ලෙස ග්‍රාන්ට් ෂැප්ස් තේරී පත් විය.

අග්‍රාමාත්‍ය සුනාක් ගේ ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට් හට විදේශ කටයුතු අමාත්‍ය ධුරය ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටියත් ඇයට සැලකිය යුතු අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.එළඹෙන නොවැම්බර් 17 ප්‍රකාශයට පත් කරන අයවැයේදී ආර්ථික අර්බුදය ජයගැනීමේ අරමුණින් අසීරු තීරණ රැසක් ගනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

(රොයිටර්)