සූමා සිරගත කළැයි විරෝධතා


දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා සිරගත කිරීමට විරෝධය පළ කරමින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් දරුණු ගැටුම්වලින් හැත්තෑ දෙදෙනකු මියගිය බවත් 1,234 දෙනකු අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.

සූමාට සිරදඩුවම් ලබා දීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ ආරම්භ වූයේ ඔහු උපන් ක්වාසූලා පළාතෙනි. මේ වනවිට එම උද්ඝෝෂණ රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ලක් ලෙස ජොහැන්නස්බර්ග් තෙක් පැතිර ගොස් තිබේ.

විරෝධතාකරුවන් කඩ සාප්පු කොල්ල කමින්, රජයේ ගොඩනැගිලි සහ වාහන ගිනි තබන බවත් පොලිසියට ඔවුන් මර්දනය අසීරු වී ඇති බවත් දකුණු අප්‍රිකා පුවත් සේවා වාර්තා කරයි.

දකුණු අප්‍රිකාව මේ වනවිට දරුණු ලෙස 'කොවිඩ් 19' වයිරසයෙන් බැටකයි.

වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ තහංචි පනවා ඇති නමුත්, විරෝධතාකරුවන් ඒ කිසිවක් සැලකිල්ලට නොගන්නා බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කර තිබේ.

'කොවිඩ් 19' වසංගතයෙන් ද දරුණු ලෙස බැටකයි. කොරෝනා වසංගතය හේතුවෙන්, සමාජීය සහ ආර්ථිකමය වශයෙන් සිදුවුණු බලපෑම් අතිමහත්ය.

දකුණු අප්‍රිකාවේ විරැකියාව ද අන් කවරදාටත් වඩා මෙම 2021 වසරේ පළමු මාස 3 ඇතුළත සියයට 32.6 කින් ඉහළ ගොස් තිබේ.

ජේකොබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස 2018 වසර තෙක් එම ධුරය හෙබවීය. සූමා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන විවිධාකාරයේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

එම විමර්ශනවලට සහාය දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ව්‍යවස්ථා අධිකරණය සූමාට දන්වා තිබුණි. කෙසේ නමුත් සූමා අධිකරණය හමුවේ පෙනී සිට නැත.

අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන්, අධිකරණයට අපහාස කළේ යැයි දකුණු අප්‍රිකා ව්‍යවස්ථා අධිකරණය, සූමාට මාස 15 ක සිරදඩුවම් නියම කළේය. 

දින 5 ක් ඇතුළත පොලිසියට බාර වන ලෙසත් එසේ නොකළොත් සූමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව පසුගිය ජූලි 8 වැනිදා සූමා පොලිසියට බාර විය. ඉන්පසු මාස 15 ක සිරදඩුවම ක්‍රියාත්මක කෙරුණි.

79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.

ජනාධිපති ධුරය හොබවද්දී බලතල අයථා ලෙස භාවිත කළේ යැයි චෝදනා රැසක් සූමාට එල්ල වී ඇති අතර, ඒ එක් එක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.

(රොයිටර්)