සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ගෞරව කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ සෙනට් සභිකයෝ පිරිසක් වොෂින්ටන් අගනුවරදී ඉකුත් දා මිනිත්තු කිහිපයක් දණ ගසා සිටියහ.
ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ මැයි 25 වැනිදා ය.
ඔහුට ගෞරව කිරීම සඳහා මෙලෙස දණ ගසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුව එනම් එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයන් කිහිපදෙනකි. ඔවුහු නිහඬව මිනිත්තු 8කුත් තත්ත්පර 46ක් දණ ගසා සිටියහ.
මිනියැපොලිස් හි පොලිස් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ල මත ඔහුගේ දණහිස තබා තද කරමින් සිටි කාලයද මිනිත්තු 8කුත් තත්ත්පර 46කි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ ‘එමැන්සිපේෂන්’ ශාලාවේදී ඔවුහු එලෙස දණ ගසා සිටියහ.
සෙනට් සභාවේ සෙනට් දේවගැති බැරි බ්ලැක් ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ගෞරව දැක්වීම ආරම්භ කළ අතර ඊට ඇමෙරිකානු කොංග්‍රසයේ දීර්ඝතම කාලයක් සිටි කළු ජාතික සෙනට් සභිකයා වන කෝරි බූකර්, සෙනට් සභික කමලා ඩී හැරිස් යන අය ද එක්වූහ. ඔවුන්ට අමතරව සෙනට් සභාවේ තවත් ඩිමොක්‍රටික්වරු පිරිසක් ද එමම අවස්ථාවට එක්ව සිටියහ.
‘‘ඕනෑම තැනක සිදුවන අසාධාරණය ඕනෑම තැනක තිබෙන සාධාරණයට තර්ජනයක්’’ යැයි ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ගෞරව දැක්වීමේ අවස්ථාව ආරම්භ කරමින් සිය යාඥාව ආරම්භයේදී සෙනට් දේවගැති බැරි බ්ලැක් පැවැසීය.
‘ද වොෂින්ටන් පෝස්ට්’
ඡායාරූප – ගෙටී/බ්ලූම්බර්ග්
055