සෝමාලියාවේ වෙඩිතැබීමකින් 11ක් මරුට


සෝමාලියාවේ මොගඩිෂු නුවර හෝටලයක සිදුවූ පිපිරීමක් සහ වෙඩිතැබීමක් හේතුවෙන් 11දෙනකු මිය ගොස් 20දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

එලයිට් හෝටලය ඉදිරිපස මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරා ගිය බවද ඉන්පසු තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීම ආම්භ කළ බවද පොලිසිය පවසයි.මියගිය අය අතර සටන්කාමීහු පස්දෙනක් ද සිටිති.

හෝටලයේ සිටි පුද්ගලයන් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන සිටි සටන්කාමීන් ආරක්ෂක අංශ වෙතට වෙඩිතැබූ බව පැවසේ.

පැය හතරකට පමණ පසු ආරක්ෂක අංශ විසින් තුවක්කුකරුවන් සියලු දෙනා ඝාතනය කර හෝටලය නිදහස් කරගෙන තිබේ.

200කට අධික පිරිසක් හෝටලයෙන් බේරාගත් බව රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් සංවිධානය විසින් බාරගෙන තිබේ.

අල්කයිඩා සංවිධානයට සම්බන්ද අල්ෂබාබ් කණ්ඩායම දශකයකට වැඩි කාලයක් තිස්සේ සෝමාලියාවේ සටන් මෙහෙයවමින් සිටිති.

පසුගිය සතියේ මොගඩිෂු නුවර බන්ධනාගාරයක සිරගතව සිටින අල්ෂබාබ් සාමාජිකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වූහ.

(බීබීසී ඇසුරිණි - 085)