හමුදා ඉවත් කරගන්නා බවක් පෙනෙන්න නෑ


යුක්රේන දේශසීමාවේ රැඳවූ සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේ යැයි රුසියාව පැවැසුවත්, චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු අනුව එවැන්නක් තහවුරු වී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා යළිත් වරක් අනතුරු ඇඟවමින් කියා සිටියේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණය තවමත් වෙනස් කර නැති බවය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතරේ ඊයේ (15) දුරකතන සංවාදයක් ද පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, රුසියන් විදේශ ඇමැතිවරයාට කියා සිටියේ, හමුදා ඉවත් කරගත් බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටය.

රුසියන් හමුදා සොල්දාදුවන්, යුක්රේනය තුන් පැත්තකින් වට කර තිබේ. 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ද පවසා ඇත්තේ රුසියාන් හමුදා ආපසු හැරුණු බවක් තවමත් දකින්න නොලැබෙන බවය.

යුක්රේන දේශසීමාවේ රඳවා සිටි තම හමුදා සොල්දාදුවන්ගෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියාව නිවේදනය කළේ පසුගිය 15 වැනිදාය.  ඒ අනුව, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව, ඇමෙරිකාව සහ බටහිර රටවල් අතරේ පැවැති යුද බිය යම්තාක් දුරකට පහව ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

යුක්රේනය, රුසියාවේ අසල්වැසියකු වන අතර, රුසියන් හමුදා සොල්දාදුවෝ ලක්ෂයකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපය තිස්සේ යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටිති.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට රුසියාව කැමැති වීමත් සමඟ හමුදාව ඉවත් කර ගැනීම සිදුවුණැයි විදෙස් මාධ්‍ය පෙරේදා (14) පවසා තිබුණි.

අතීතයේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය යුරෝපා සහ බටහිර රටවලට සමීප වී කටයුතු කරයි.

ඊට අමතරව ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ ද සබඳතා තරකරගෙන ඇත. ‘නේටෝ’ යනු බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට පිහිටුවා ගත් සන්ධානයයි.

‘නේටෝ’ සංවිධානය සමඟ සමීපව කටයුතු කරන යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලයි. රුසියාවේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි.  යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට සූදානමින්, රුසියන් හමුදා සොල්දාදුවන් ලක්ෂ ගණනින් යුක්රේන රුසියා දේශසීමාවේ රුඳවීමට රුසියන් ජනාධිපති පුටින් කටයුතු කළේ මේ නිසාය.

(ඒ.එෆ්.පී.)