හමුදා ඉවත් කිරීම ගැන කනගාටුවක් නෑ


ඇෆ්ගනිස්තානයනේ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවත්, මේ මොහොතේ ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ කළ යුතු වන්නේ තලේබාන්වරුන්ගේ තර්ජනවලට මුහුණ දෙමින්, ඔවුන්ට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබා නොදීම යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානය එරට ප්‍රධාන නගර 7 ක සහ පළාත් රැසක බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇති බැවිනි. ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයට අනුව, තලේබාන් ත්‍රස්තවාදීන් එරට පළාත්වලින් අඩකට වඩා මේ වනවිට අත්පත් කරගෙන සිටින බව පැවැසෙයි.

'මා ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඉවත් කිරීමට ගත් තීරණය නිසා අද ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ගේ ශක්තිය වර්ධනය වෙලා යැයි චෝදනා එල්ල වෙනවා. ඒත් ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේඅල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ ඔහුගේ අල් කයිඩාවට තලේබාන් සංවිධානයේ සහාය ලැබුණු නිසා. බින් ලාඩන් ඝාතනයෙන් පසු, අල් කයිඩාව අඩපණ වුණා.  අපේ මෙහෙයුම අවසන්. ඒ නිසා ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වුණා' යැයි ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර පසුගිය වසර කීපය පුරා සාකච්ඡා පැවැත්විණි. ඒ, දෝහා කටාර් හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. සාකච්ඡා ආරම්භ වූයේ බයිඩන්ට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙනි. බයිඩන් පරිපාලනය එම සාකච්ඡා අවසන් කළේ, ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතරේත්, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේත් සාම වැඩපිළිවෙළක් සකස් කරමිනි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ තලේබාන් සංවිධානය එහ සාම වැඩපිළිවෙළට ගරු කරනු ඇතැයි විශ්වාසයෙනි. නමුත් එය එසේ සිදුනොවිණි.

(රොයිටර්)