ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය භාවිතා කරලා නෑ


ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන් මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොමැති බව සිදු කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත. මත්ද්‍රව්‍ය ලබා ගත්තා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට අගමැතනිය යොමු වූයේ පසුගිය සිකුරාදා (19) දිනයේය. ඒ ඇගේ කැමැත්තට අනුවය.

සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් හේතුවෙන්, සන්නා මරීන්ට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දොස් අහන්න සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා (18) ය.

අගමැතිනිය, ඇගේ යහළු යෙහෙළියන් සහ ෆින්ලන්තයේ ජනප්‍රිය තරු කීප දෙනකු ද සමඟ රාත්‍රී සාදයකට සහභාගී වෙමින්, නටමින් ගී ගයමින් විනෝද වන අයුරු වීඩියෝවේ දැක්වෙයි.

විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්න වූයේ, එම වීඩියෝ දසුන් අනුව, අගමැතිනිය, ඇගේ තනතුරට අගෞරව වන අයුරින් නටමින් විනෝදවීම අනුමත කළ නොහැකි බවය.

අගමැතිනිය සාදවලට සහභාගී වී මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නවාදැයි සැකයක් පවතින බවත්, ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් එම අවස්ථාවේදී පැවැසීය.

තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු නොවන බවත්, සාද වලදී තමන් මධුවිත පානය කරන බවත් අගමැතිනිය විපක්ෂයට පෙන්වා දුන්නේය. එසේ වුවත් ඇය මත්ද්‍රව්‍ය භාවිත කළා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයකට යොමු වූවාය. එහි ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඊයේ (22) ය.

(රොයිටර්)