තම දේශසීමා රුසියානු සංචාරකයන්ට වසා දැමීමට ෆින්ලන්තය තීරණය කර තිබේ.
ෆින්ලන්තය රුසියාවේ අසල්වැසියකු මෙන්ම යුරෝපා සංගමයේ සාමාජිකයකු ද වෙයි. මේවනවිටත් රුසියාවේ සෙසු අසල්වැසියන් වන පෝලන්තය, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව ද රුසියන් සංචාරකයන්ට දේශසීමා වසා දමා ඇත.
සංචාරකයන්ට දේශසීමා වසා දැමුණත්, ෆින්ලන්තයේ ජීවත්වන තම පවුලේ සාමාජජිකයන් හමුවීමට පැමිණීමටත්, රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහාත් රුසියානුවන්ට අවසර ලැබෙන බව ෆින්ලන්ත විදේශ අමාත්‍ය පෙක්කා හාවිස්ටෝ පැහැදිලි කර තිබේ. ෆින්ලන්තය සහ රුසියාව අතර ඇත්තේ කිලෝ මීටර් 1,300 ක දේශසීමාවකි.
යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියන් හමුදාවට අමතර සෙබළුන් ලක්ෂ 3 ක් බඳවා ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ දෙනකු රට හැර යෑමට උත්සාහ ගත්තේ ෆින්ලන්ත දේශසීමාව හරහාය.
රුසියානුවන් මෙසේ ෆින්ලන්තයට ඇතුළු වූයේ සංචාරකයන් ලෙසය. ඒ අනුව කිලෝ මීටර් ගණන් දිග පෝළිම් ෆින්ලන්ත දේශසීමාවේ දකින්න ලැබුණි. ෆින්ලන්ත රජය, දේශසීමා රුසියන් සංචාරකයන් සඳහා වසා දැමීමට තීරණය කෙරුණේ ඒ අනුවය.
(රොයිටර්)