ෆින්ලන්තයට විදුලිය දීම නවත්වයි


රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව ෆින්ලන්තයට අනතුරු අගවා තිබේ.

ෆින්ලන්තය යනු රුසියාවේ අසල්වැසියෙකි. ෆින්ලන්තය, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගතහොත්, ඊට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රුසියාව පැහැදිලි කර තිබේ.

ගෙවීමට ඇති හිඟ මුදල් හේතුවෙන් ෆින්ලන්තයට ලබා දෙන විදුලි සැපයුම මැයි 14 වෙනි දින විසන්ධි කරන බව රුසියානු බලශක්ති සමාගමක් වන ඉන්ටර් රාඕ ප්‍රකාශ කළේය.

ඉන්ටර් රාඕ අනුබද්ධිත ආයතනයක් වන රාඕ නෝර්ඩික් සමාගම හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඉන්ටර් රාඕ සමාගම ප්‍රකාශ කළේය.මෙසේ විදුලි සැපයුම අත් හිටුවිමක් පසුගිය වසර 20 ක කාලය තුල සිදු වී නොමැති බව විශ්ලේෂකයෝ පවසති.

උතුරු අත්ලාන්තික් සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත කළහොත් රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.