'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා 'වැරදි තොරතුරු' හුවමාරු වන බවත්, 'කොවිඩ් 19' වසංගතය සේම එම 'වැරදි තොරතුරු' ද ජනතාවට අහිතකර බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙයි.
'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් තවමත් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩසටහන ඉතා වේගයෙන් සිදුවන අතර, ප්‍රාන්ත බොහොමයක වයිරස ව්‍යාප්තිය පාලනය වී ඇතැයි ද පැවැසෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ ඩෙල්ටා විකෘති ප්‍රභේදය ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති අතර, එම නිසා නගර කීපයකින් යළිත් ආසාදිතයන් වැඩි වීමට පටන්ගෙන ඇත. ආසාදිතයන් වැඩි වී ඇත්තේ සෞඛ්‍ය අංශ පනවා තිබුණු තහංචි ලිහිල් කිරීමෙන් පසුවය.
මේ අතර, එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන පිරිසක් ද සිටින බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් බවත් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. වැරදි සෞඛ්‍ය තොරතුරු මෙවුන් සමාජගත කරන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යැයි ජෝ බයිඩන් පවසයි.
'කොවිඩ් 19' වයිරසය ගැනත්, එන්නත් ගැනත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් වැරදි තොරතුරු සමාජයට අහිතකර බවත් කොරෝනා මරණ ඉහළ යෑමට මෙම වැරදි තොරතුරු ඉවහල් වන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
වැරදි තොරතුරු සමාජගතවීම වැළැක්වීමට නම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා නියාමනයක් සිදුවිය යුතුයැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
(රොයිටර්)