‘ඔරායන්’ කැස්පියුලය පරීක්ෂා කෙරේ


‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම යටතේ සඳ වටා ගොස් ආපසු ආ ‘ඔරායන්’ ගගන කැප්සියුලය පරීක්ෂා කිරීම ආරම්භ කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම යටතේ සඳට ගිය ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගොඩ බෑවේ නැත. යානය සඳුගේ කක්ෂයට පිවිස සඳ වටා කැරැකී ආපසු පෘථිවිය බලා පැමිණියේය. ඒ දින 25 ක මෙහෙයුමකින් පසුවය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය පෘථිවියට පතිත කළේ පසුගිය දෙසැම්බර් 1 වැනිදාය.

‘ඔරායන්’ ගගන කැප්සියුලය, සඳට ගගනගාමීන් ගෙන යෑමට නිර්මාණය කරන ලද්දකි. ‘ආර්ටිමිස් 1’ යටතේ කැප්සියුලය අත්හදා බැලුවේ ගගනගාමීන් නොමැතිවය.

මෙහෙයුමට සංවේදක සවි කළ මිනිස් අනුරු එසේත් නැතිනම් ‘ඩමි’  තුනක් යානයේ අසුන් ගන්වා තිබුණි. එම සංවේදකවලින් ලබා ගත් දත්ත එකිනෙක විමසා බැලීම ද මේ වනවිට ආරම්භ වී ඇත.

ඊට අමතරව කැප්සියුලයේ ‘තාප පළිහ’ ද පරීක්ෂාවට ලක් කෙරේ. සඳට ගොස් ආපසු ආ කැපිසියුලය පෘථිවි කක්ෂයට පිවිසියේ ෆැරන්හයිට් 5,000 ක අධික තාපයක් යටතේය. එම තාපයෙන් යානය ආරක්ෂා වූයේ ‘තාප පළිහ’ නිසාය.

සඳට ගොස් ආපසු ආ ගමනට ‘ඔරායන්’ ගගන කැප්සියුලය මුහුණ දුන් ආකාරය අනුව, ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම 2024 දී ආරම්භ කිරීමට නාසා සූදානමින් සිටී. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ වනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)