ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය ‘කොවිඩ් 19’ ආසදනය මුම්බායි රෝහලක සැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මහත්මිය ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර ‘බ්‍රිච් කැන්ඩි’ රෝහලටය. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඇය ආසාදිතයකු බව තහවුරු වීමෙනි.
ලතා මංගේෂ්කාර් මහත්මියට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත්, වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඇගේ වයස කෙරෙහි අවධානය යොමු කරමින් බවත් මංගේෂ්කාර් මහත්මියගේ ඥාති දියණිය රචානා ෂා මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.
ලතා මංගේෂ්කාර් මහත්මිය වඩාත් ප්‍රකට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසිනි. ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා 31 කින් සහ විදෙස් භාෂාවන්ගෙන් ද ගීත 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබේ. ලතා මංගේෂ්කාර් මහත්මිය සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබේ. ඒ, ‘සැඩ සුළං’ චිත්‍රපටය සඳහාය.
2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී. ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් 1969දී ඇය පිදුම් ලබා ඇත. ෆිල්ම්ෆෙයාර් ඇතුළු විවිධ දේශීය සහ විදේශීය සම්මාන උලෙළවලදී ඇයට 40කට අධික සම්මාන ප්‍රමාණයක් ලැබී ඇත.
ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.
(එන්.ඩී.ටීවී.)