මදුරුවන්ගෙන් බෝ වන ‘චිකුන්ගුන්යා’ වයිරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවීමට ‘වල්නේවා’ නමැති ප්‍රංශ-ඔස්ට්‍රියානු ඖෂධ සමාගම සමත් වී සිටී.
වෛද්‍ය පර්යේෂකයන්, මෙම එන්නත නම් කර ඇත්තේ, ‘වී.එල්.ඒ. 1553’ නමිනි. ‘චිකුන්ගුන්යා’ වයිරසයට පළමු වරට සාර්ථක එන්නතක් නිපදවූ පළමු අවස්ථාව මෙයයි.
සිදුකළ සායනික පර්යේෂණ අනුව, ‘වී.එල්.ඒ. 1553’ එන්නත සියයට 99 ක සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, අතුරු ආබාධ නොමැති බවත් එන්නත නිපදවූ විද්‍යාඥයෝ පවසති.
මේ වනවිට ඇමෙරිකා වෛද්‍ය පර්යේෂකයන් මෙම නව එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ‘වල්නේවා’ ඖෂධ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘වී.එල්.ඒ. 1553’ එන්නත සම්බන්ධයෙන් සියලු දත්ත සහ සායනික වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කරමින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට ද ‘වල්නේවා’ සමාගම මේ වනවිට සූදානමින් සිටී.
‘චිකුන්ගුන්යා’ ඩෙංගු වයිරසය වැනිය. තද උණ, සිරුරේ වේදනාව, කැරකිල්ල ආදිය රෝග ලක්ෂණ වෙයි. ‘චිකුන්ගුන්යා’ සොයා ගැනීම සිදුවූයේ 1952 වසරේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වයිරසය මේ වනවිට රටවල් 110 කට ව්‍යාප්ත වී තිබේ. බැක්ටීරියා ආසාදනවලට මෙන් නොව, වයිරස ආසාදනවලට එන්නත් නිපදවීම පහසු නැත. ඊට හේතුව වයිරස සෑම විටම ස්වරූප වෙනස් කර ගන්නා බැවිනි. ඩෙංගු වයිරසයට ද එන්නත් නිපදවීම සිදුවෙයි. කෙසේ නමුත් එම එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.