‘ජී20’ සමුළුවට පුටින් නෑ


ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බව ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ පවසයි.

මෙවර ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ, සුන්ඩා දූපත්වලට අයත් බාලි පළාතේය. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝය. ‘ජී20’ යනු ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවලට එකමුතුවය. රුසියාව ‘ජී20’ සාමාජිකයෙකි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බවත්, එහිදී බාලි සමුළුවට සහභාගීවීමට ඔහු පැමිණෙන්නේ නැතැයි පැහැදිලි කළ බවත් ජනාධිපති විඩෝඩෝ මාධ්‍ය හමුවේ පවසා පෙන්වා දී තිබේ.

රුසියන් ජනාධිපති පුටින්, සමුළුවට සහභාගී නොවන්නේ රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙනි. සමුළුවට ඇමෙරිකා, බි්‍රතාන්‍ය, ප්‍රංශ, ඇතුළු බටහිර රටවල නායකන් සහාභාගී වීමට නියමිතය. එම රටවල් සියල්ල රුසියන් යුක්රේන අර්බුදයේදී රුසියාවට විරුද්ධව කටයුතු කරයි.

ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ, මීට පෙර පවසා තිබුණේ ‘ජී20’ සමුළුවට සහභාගී වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට සාකච්ඡා කිරීමට වේදිකාවක් සකස් කර දෙන බවත්, රුසියන් යුක්රේන අර්බුදය සාමකාමීව අවසන් කිරීමට තමන් මැදිහත් වන බවත්ය.

තමන් සමුළුවට සහභාගී වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද පවසා තිබේ. මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම කියා සිටියේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බවය.

(රොයිටර්)