‘ටයිටන්’ ගැන ‘ටයිටැනික්’ අධ්‍යක්ෂවරයා හඬ අවදි කරයි


‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් සිය හඬ අවදි කළේය.

‘ටයිටැනික්’ අධ්‍යක්ෂවරයා ද වන කැමරන් කියා සිටියේ ‘ටයිටන්’ සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී සංචාරකයන් රැගෙන එය මුහුදු පතුලට යැවීම අනුවණ ක්‍රියාවක් බවය.

ජේම්ස් කැමරන් ද දක්ෂ කිමිඳුම්කරුවෙකි. ඔහු 33 වරක්, ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇති ස්ථානයට ගොස් සුන්බුන් ගවේෂණය කළ අයෙකි.

‘1912 වසරේ ටයිටැනික් නැව අවාසනාවන්ත අයුරින් මුහුදේ ගිලී ගියේ නැව ගිල්වන්න බැරි යැයි අවතක්සේරු කළ නිසයි. ​බොහෝ දෙනා ටයිටැනික් ගැන අනතුරු ඇගෙව්වා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ටයිටන් සබ්මැරීනයටත් සිදුවුණේ එවැන්නක්’ යැයි කැමරන් පැහැදිලි කර තිබේ.

කැමරන්ගේ ‘ටයිටැනික්’ චිත්‍රපටය තිරගත වූයේ 1997 වසරේදීය. ඊට සැබෑ ටයිටැනික් නැවේ දසුන් භාවිත කළේය. ඒ, කැමරන් මුහුදු පතුලට ගොස් පටිගත කළ ඒවාය. ‘ටයිටැනික්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපටයකි.