‘ඩොන්බාස්’ පළාත වෙනුවෙන් සටන් ඇරැඹේ


නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත අල්ලා ගැනීම වෙනුවෙන් රුසියාව සටන් ආරම්භ කර ඇති බවත්, ඩොන්බාස් පළාත රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

රුසියන් හිතවාදී, යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පවතින ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යන නගර පිහිටා ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. මෙම නගර සහ ඒවා අයත් ප්‍රදේශ යුක්රේනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යය බවට පත් වීමට කැමැත්ත පළ කර තිබේ. ඒ සඳහා රුසියාවේ ද අනුමැතිය ලැබී ඇත.

‘ඩොන්බාස්’ පළාත අල්ලා ගැනීමට රුසියාව ආරම්භ කළ සටන, රුසියන් යුක්රේන යුද්ධයෛ් දෙවැනි අදියර බව ද යුක්රේන ජනාධිපති සෙලෙස්න්කී පවසා තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිටය. එදා සිට පැවැති යුද ගැටුම්වලින් යුක්රේනයේ යටිතල පහසුකම්වලින් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වී ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

රුසියානු හමුදා ප්‍රහාරවලින්, යුක්රේනයේ සිවිල් වැසියන් 2,072 දෙනකු මියගොස් ඇති බවත්, 2,818 දෙනකු තුවාල ලබා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යුක්රේනය පවසා ඇත්තේ මරණ සහ තුවාල ලැබූවන් ගණන තවත් ඉහළ අගයක් ගන්නා බවය.

(රොයිටර්)