‘පොසිටිව්’ වුණත් නිරෝධායනයක් නෑ


පී.සි.ආර්. සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණවලින් ‘කොවිඩ් 19’ ආසාදතයන් ලෙස තහවුරු වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම්, ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසයි.

දකුණු අප්‍රිකා ජනාපධිතිවරයා මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිකුත් කළ නව මාර්ගෝපදේශ උපුටා දක්වමිනි. පී.සි.ආර්. සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණවලින් ‘කොවිඩ් 19’ ආසාදතයන් ලෙස තහවුරු වන, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට සුපුරුදු පරිදි ඔවුන්ගේ දෛනික කටයුතුවල නියැළිය හැකි බවත්, ඔවුන් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය බවත් දකුණු අප්‍රිකා සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් සඳහා නිරෝධායන කාල සීමාව ද මේ වනවිට සංශෝධය වී තිබේ. මීට පෙර එම ආසාදිතයන් දින 10 ක් නිරෝධායනයේ සිටිය යුතු නමුත් නම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, එම දින ගණන දින 7 තෙක් අඩු කර තිබේ.

පසුගිය 2021 දෙසැම්බර් මාසය අවසන් වෙද්දීත්, මෙම 2022 ජනවාරිය ආරම්භ වනවිටත් දකුණු අප්‍රිකාවේ ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය ඉහවහා ගොස් තිබුණි. ‘ඔමික්‍රෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගත්තේ ද දකුණු අප්‍රිකා වෛද්‍ය පර්යේෂකයන්ය.

දකුණු අප්‍රිකා ජනාපධිතිවරයා ද වයිරසයට ආසාදනය වී සුවය ලැබුවේය. ඔහු පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා සිටි බව පැවැසිණි. මේ වනවිට දකුණු අප්‍රිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් අඩුවෙමින් පවතින බව ද සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

(රොයිටර්)