‘වඳුරු උණ’ දරුණු වෙයි


‘වඳුරු උණ’ (වඳුරු පැපොල) රෝගීන් වාර්තා වීමත් සමඟ බෙල්ජියම් සෞඛ්‍ය අංශ, ‘වඳුරු උණ’ වයිරස රෝගය සඳහා නව සෞඛ්‍ය නීතී හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව ‘වඳුරු උණ’ ආසාදිතයන් සහ ආශ්‍රිතයයන් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය.

ඒ අනුව, ‘වඳුරු උණ’ (මන්කි-පොක්ස්) වයිරස ආසාදිතයන් සම්බන්ධයෙන් නිරෝධායන නීති සකස් කළ පළමු රට වන්නේ බෙල්ජියම යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බෙල්ජියම යුරෝපා රාජ්‍යයක් වන අතර යුරෝපා රටවල් රැසක මේ වනවිට ‘වඳුරු උණ’ ව්‍යාප්ත වෙමින් පවතී.

බෙල්ජියමට අමතරව, වඳුරු උණ (මන්කි-පොක්ස්) ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව ආදී රටවලිනි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ඊයේ (22) පැවැසුවේ එරට සමාජයේ ‘වඳුරු උණ’ ව්‍යාප්තියක් සිදුවෙන බව තහවුරු වී ඇති බවය.

‘වඳුරු උණ’ ආසාදනය වූ විට තද උණ ඇතිවෙයි. සිරුරේ බිබිලි හට ගනී. ඇඟපත වේදනාව ද රෝග ලක්ෂණයකි. ‘වඳුරු උණ’ යනු බටහිර සහ මධ්‍යම අප්‍රිකාවට පමණක් සීමා වූ වයිරස උණ රෝගයක් විය. කෙසේ නමුත් විටින් විට එය බටහිර රටවලින් ද වාර්තා විය. එසේ වුවත් මේ වනවිට ‘වඳුරු උණ’ අසාමාන්‍ය ලෙස ව්‍යාප්තවීම විද්‍යාඥයන් පවා පුදුමයට පත් කිරීමට හේතුවක් වී තිබේ.

‘වඳුරු උණ’ මාරක වයිරසයක් නොවන නමුත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක වීමට හෝ සංකූලතා ඇති කිරීමට හෝ ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. ‘වඳුරු උණ’ වසංගතයක් හට ගනීවිදැයි යන්න සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි.

(රොයිටර්)