‘‘ඇමරිකාව කොරෝනා ගැන ලොව පුරා භීතියක් ඇතිකරනවා‘‘


මාරාන්තික කොරෝනා වෛරසය සම්බන්ධව ඇමරිකාව ලොව පුරා භීතියක් ඇතිකරන බවට චීනය චෝදනා කරයි.

මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සහ පසුගිය සති දෙක තුළ චීනයට ගිය විදේශිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකාව ගත් තීරණය සම්බන්දව සිය අප්‍රසාදය පලකරමින් චීනය එසේ පවසා ඇත.

අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනිනිග් මහත්මිය පැවසුවේ බිය ඇතිකිරීමට සහ පැතිරවීමට ඇමරිකාවේ ක්‍රියාමාර්ග ඉවහල් වන බවයි.

මෙවන් අර්බුදකාරී අවස්ථාවක අවශ්‍ය වන්නේ පිහිටවීම බවද ඇය පවසයි.

චීන සංචාරකයින්ට සංචාරක තහනමක් පැන වූ ප්‍රථම රට ඇමරිකාව බවත් තානාපති කාර්යාල , කාර්ය මණ්ඩලය අර්ධ වශයෙන් ඉවත් කරගැනීමට යෝජනා කළ පළමු රට ඇමරිකාව බවත් ඇය පැවසුවාය.

"ඇමරිකාව වැනි සම්පූර්ණයෙන්ම සංවර්ධිත රටවලට වසංගත වැළැක්වීමේ දැවැන්ත ශක්තියක් තිබෙන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට පටහැනිව අධික සීමා පැනවීමට පියවර ගෙන තිබේ." යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

වෛරසයට එරෙහිව සටන් වැදීමට චීනය දක්වන කැපවීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ප්‍රශංසා කර ඇති අතර එය පරාජය කිරීමට ඇති එකම මාර්ගය සියලු රටවල් සහයෝගීතාවයෙන් කටයුතු කිරීම බව අවධාරනය කළේය.

(බීබීසී ඇසුරිණි - 085)