‘‘ඇමෙරිකාවේ මැතිවරණයට මැදිහත් වෙන්න වුවමනාවක් නැහැ‘‘


මේ වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට, රුසියාව මැදිහත්වන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය යැයි රුසියාව අද (21) ප්‍රකාශ කළේය.

රුසියාව 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වන බවට එල්ල වන චෝදනා මානසික විකෘතිභාවයෙන් කරන අසත්‍ය ප්‍රකාශ යැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කළේය.

‘‘සාමාන්‍යයෙන් කරනවා වගේ ඇමෙරිකාව නැවත මානසික විකෘතිභාවයෙන් නිවේදන නිකුත් කරනවා, ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරණය ළං වෙද්දි එවැනි ප්‍රකාශ දෙගුණ තෙගුණ වෙනවා. අපිට ඇමෙරිකාවේ මැතිවරණයට මැදිහත් වෙන්න වුවමනාවක් නැහැ. අප මැදිහත් වන බවට කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැහැ’’ යැයි ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය.

මේ වසරේදී ද රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වනු ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය ඊයේ (20) වාර්තා කර තිබිණි. බුද්ධි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කොංග්‍රසයට අනතුරු අඟවා ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් කිරීමට සහයෝගය දැක්වූ බවටත් විවිධ ආකාරවලින් ජනාධිපතිවරණයට මැදිහත් වූ බවටත් රුසියාවට චෝදනා එල්ල විය.

ඒ.එෆ්.පී.

055