’පන්ජ්ෂීර්’ කැරැලි නායකයා තලේබාන් සමඟ සාකච්ඡා


සටන් නවත්වා තලේබාන්වරුන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඇෆ්ගන් 'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන්ට නායකත්වය දෙන අහ්මද් මසූද් පවසයි.

මසූද් මෙසේ පැවැසුවේ පසුගිය සති අන්තයේ තලේබාන්වරුන් සමඟ පැවැති අවි ගැටුම්වලින් 600 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මියගිය පිරිස අතර, මසූද්ගේ බෑණා කෙනකු ද සිටින බව අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.

අහ්මද් මසූද් නායකත්වය දෙන සටන්කාමීන් හැඳින්වෙන්නේ 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' යන නමිනි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා පිටවී යෑමත් සමඟ තලේබාන්වරුන් කාබුල් අගනුවර අල්ලා ගනිද්දී, ඇෆ්ගන් රජයේ උප ජනාධිපතිවරයා අම්රුල්ලා සලේ ද 'පන්ජ්ෂීර්' නිම්නයට ගොස් තලේබාන් විරෝධී සටන්කාමීන්ට එක් වී සිටී.

අහ්මද් මසූද් තම නියෝජිතයන් හමුවුණු බවත් දෙපාර්ශ්වය අතර ඇති මතගැටුම් නිරාකරණය කර ගැනීමට සාකච්ඡා ආරම්භ කළ බවත් තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 'පන්ජ්ෂීර්' කඳුකර නිම්නයේ තලේබාන් පාලනයට එරෙහි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්)