නුවර වැවේ ඉඩම් අල්ලා ඉදිකිරීම් කරන තුරු ඊට වගකිව යුතු සමහර නිලධාරින් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත. දැන් වගකීම පැහැර හරින එම නිලධාරින් ඇස් කන් වසා එක් එක් අයට බෝල පාස් කරමින් ඉන්නා බවක් පෙනෙන්නට තිබේ. මින් උපරිම ප්‍රයෝජනය ගන්නා අය නුවර වැවේ දියබුං ගහන්නේ සෘජු තීරණ අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ නිලධාරින් නිසා විය යුතුය.
අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය සහ වැව අල්ලාගෙන පුරවා හෝටලයක් හදන සිදුවීමක් ගැන පසුගියදා දැඩි කතාබහට ලක් විය. එම කතා බහේදි නුවර වැව අල්ලාගෙන හෝටල් හදන බවට චෝදනාවක් එල්ල වූ එක් ඇමැතිවරයෙක් වූයේ සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහය.
වැවක හෝ වැව් රක්ෂිතයක යම් ඉදිකිරීමක ඊට පෙර ඒ සඳහා අවසර ගත යුතු ආයතන කිහිපයක් තිබේ. නමුත් ඒ කිසිදු ආයතනයකින් නිසි අවසරයක් නොගෙන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙම හෝටලය ඉදිකරන බව බොහෝ දෙනාගේ චෝදනාවය. මෙම හෝටලය ඉදිවෙන්නේ අංක 279 මහ කැලැත්තෑව ග්‍රාම නිලධාරි වසමේ මහ කැතැත්තෑව ප්‍රදේශය ආසන්නයේය. එම ප්‍රදේශය අයත් වෙන්නේ නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවටය. වැවේ හෝ රක්ෂිතයේ ඉදිකිරීමකට අවසර දීමේදී අදාළ ප්‍රාදේශීය සභාවේ සැලැසුම් කමිටුවක් මගින් ඊට ලිඛිත අනුමැතිය හිමි විය යුතුය. ඒ සඳහා අදාළ පරිසර වාර්තා, රක්ෂිතයක් නොවන බවට වාර්තා, ඇතුළු රාජ්‍ය ආයතනවල අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. නමුත් එවැනි කිසිදු අනුමැතියකින් තොරව නුවර වැව් රක්ෂිතය තුළ ඉඩමක පිරවීමක් සහ ඉදිකිරීමක් සිදුවෙන බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එම පිරවීම සහ ඉදිකිරීම කරන්නේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා බවද එම ජනතාව අවධාරණය කරති.
එසේම මෙම ඉදිකිරීම කරන ඉඩමට අදාළ නීතිමය බලපත්‍රයක් තිබිය යුතුය. එම බලපත්‍රය ලබා දිය යුත්තේ අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා විසිනි. එම ප්‍රාදේශීය ලේකම්වරයා සනාථ කරන පරිදි රටේ ඉඩම් ලබා ගැනීමේදී නිසි ක්‍රමවේදය යටතේ සේමසිංහ මහතා ද ඉඩමක් ඉල්ලා ඇත. ඉඩම් ලබාදීමේදී පැවැති ඉඩම් කච්චෙරිය සඳහා සේමසිංහ මහතාද සහභාගි වී ඇත. මෙම ඉඩම් කච්චෙරිය 2021-8-05 දින පවත්වා ඇති අතර අනු අංක 138 යටතේ අරුණගම කැලැත්තෑව ලිපිනයේ පදිංචි ශෙහාන් අසංක සේමසිංහ මහතා සහභාගි වී පර්චස් 28ක ඉඩම් කොටසක් ඉල්ලා ඇති බව උතුරු මැද පළාතේ ඉඩම් කොමසාරිස් එස්.එස්.එම්. සම්පත් රෝහණ ධර්මදාස මහතා ද ලිබිතව සනාථ කොට ඇත.
එහෙත් එම ඉඩම වෙනුවෙන් බලපත්‍රයක් තවම නිකුත් කර නැත. වැව් රක්ෂිතයක ඉඩමක් සඳහා බලපත්‍රයක් ලබා දීමේදී ඒ සඳහා අවසර ගත යුතු ආයතන කිහිපයක් තිබේ. ඒවායේ අවසරය මත ඉඩම ලබා දෙනවාද නැද්ද යන්න තීරණය වෙයි. නමුත් ඉල්ලීමක් කර ඇති ඉඩමකට බලපත්‍රය ලබා දෙන තුරු භුක්ති විඳීමේ අවසරය අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා කටයුතු කර ඇත. ඒ බව මාගේ අංක අනු/8/5/බිම්සවිය/පොදු අංකය යටතේ 2021-5-19 දින ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපිය අනුව පෙනේ.
රක්ෂිතයකට ඉඩම් බලපත්‍රයක් ලබා දීමට පෙර එහි ඉදිකිරීමක් කරන්නේ නම් අනුමැතිය ගත යුතු ආයතන තිබේ. ඒ ආයතනවල අනුමැතිය පසෙකලා මෙම ඉදිකිරීම් සිදුවෙන බව බලයලත් මිනුම්දෝරු අජිත් මුණසිංහ මහතාද පෙන්වා දෙයි. මෙම ඉඩම් නුවර වැව් රක්ෂිතයට අයත් නිසා පළමුවෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරය ගත යුතුය. එම ඉඩම වැව් රක්ෂිතයට අයත් නෑ කියා ඔවුන් ලිබිතව දිය යුතුය. ඉන් පසු නාගරික සංවර්ධන අධිකාරියේ පනත අනුව සැලැසුමට අනුමැතිය ගත යුතුය. වැවක් ආසන්නයේ තියෙන සංවේදී කලාපයක් නිසා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගත යුතුය. ඉඩම් ගොඩ කිරීමක් නිසා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ගත යුතුය. එසේම වැවක ඉඩම් ගොඩ කිරීමක් නිසා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගත යුතුය.
එහෙත් මෙම කිසිදු ආයතනයක අනුමැතියක් නොමැතිව නුවර වැව් රක්ෂිතයේ ඉඩම් පිරවීම සහ ඉදිකිරීම් සිදුවෙන බව මේ ගැන අදහස් දැක්වූ ප්‍රකාශකයෙකු ද සනාථ කළේය. එම ප්‍රකාශකයා පෙන්වා දෙන පරිදි මෙම ඉඩම් නිසි ලෙස ඉල්ලීමට පෙර සේමසිංහ මහතා නොච්චියාගම රූකඩවැව ප්‍රදේශයේ සිටින පුංචි අම්මාගේ නමට අදාළ බලපත්‍රය පවරාගෙන පසුව ඇමැතිවරයාගේ නමට හරවා ගැනීමට සූදානමක් තිබී ඇත. ගොවි පන්තියට හිමි බලපත්‍රයක් මෙලෙස අඩු අාදායම්ලාභී අයෙකු ලෙස පෙන්වා අදාළ ඉඩම් පවරා ගන්නා ලෙස උපදෙස් දී තිබුණේ අනුරාධපුරේම ඉඩම් සම්බන්ධ ඉහළම නිලධාරියෙක්ලු. නමුත් මෙය නතර වූයේ තවත් නිලධාරියෙක්ගේ මැදිහත්වීමෙන්ලු. ඉන් පසු නිසි ලෙස ඉඩම ලබා ගැනීමට රාජ්‍ය ඇමැතිවරයා අයදුම් කළාලු යැයි කියාය.
ඇමැතිවරයා පුරවන ඉඩමේ GPS ඡායාරූපය
8.322762,80.458352
උස බැම්මක් දාලා වැව් රක්ෂිතය පුරවනවා
- මිනුම්දෝරු එම්. ඒ. අජිත් මුණසිංහ
නුවර වැව සහ වැව් රක්ෂිතය අල්ලාගෙන සේමසිංහ මහතා හෝටලය ඉදිකිරීම් කර ඇති බව මනාව පෙනීයන බව මේ ගැන තොරතුරු සපයන ලියාපදිංචි බලයලත් මිනුම්දෝරු සහ උසාවි කොමසාරිස් එම්. ඒ. අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි. මුණසිංහ මහතා පෙන්වා දෙන පරිදි නුවර වැවේ ජලය රඳන්නේ මීටර 88.0 මට්ටමේය. මීටර 88.5 ලෙස සලකන්නේ වැව් රක්ෂිතයයි. සේමසිංහ මහතා මේ වෙන විට වැවේ මීටර 88.5 රක්ෂිත කොටසේ විශාල පිරවීමක් කර එහි ඉදිකිරීමක් ද කර තිබේ. එහි අඩි 7ක් පමණ උසට අත්තිවාරමක් ද දමා ඇත. මෙම පිරවීම සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිදුකරන බවට මාධ්‍ය මගින්ද පසුගියදා අනාවරණය විය. අත්තිවාරම් කොටස පිරවීමට පස් ගෙන එනු ලබන්නේ තලාව සිට මොරගොඩ දෙසට වනජීවී රක්ෂිත කලාපයේ කපන අලි අගල්වලිනි. මේ වෙන විට ගණන් බලා ඇති පරිදි පස් කියුබ් 10,500ක් පමණ දමා ඇති බව අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි.
එනිසා එම පිරවීම කිරීමට පෙර අනුමැතිය ගත යුතු ආයතන නොදැන පිරවීමක් සිදුවෙන්නේ කෙසේද යන්න ගැටලුවකි. ඉඩමකට ඉල්ලීමක් කිරීමේදී ඉඩම් කච්චේරි තුනකට ඉදිරිපත් විය යුතුය. ඊට සභභාගි වුණා කියා ලිපියක් පමණක් ලබා දී ඇත. එවැනි ලිපියකට නෛතික වටිනාමක් දී නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැව් රක්ෂිතය ගොඩ කිරීමට ඉදිකිරීම් කිරීමට අවසර දුන්නේ කෙසේද යන්න ගැටලුවක් බව අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි. තමන්ට මේ ගැන අදාළ ආයතනවලින් විමසීමේදී එම ආයතන පෙන්වා දුන්නේ නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ තනි කැමැත්තට සිදු වූ දෙයක් බව යැයි අජිත් මුණසිංහ මහතා පවසයි. වැව් රක්ෂිතයේ යම් ඉදිකිරීමක් කිරීමේදී ප්‍රාදේශීය සභාවේ අනුමැතිය පමණක් ඊට ප්‍රමාණවත් නැත. මෙය රක්ෂිතයක් හෝ නුවර වැවට මෙම ඉඩම අයිති නැති බව කියා අනෙකුත් ලිබිත අනුමැතිය ලබා දිය යුතුය. ඒ සඳහා අවසර ගත යුතු ආයතන ඒ බව තහවුරු කළ යුතුය. නමුත් එසේ අනුමැතියක් නොදී මෙම ඉදිකිරීම් කරන්නේ කෙසේදැයි අජිත් මුණසිංහ මහතා විමසයි.
ඉඩමකට බලපත්‍රයක් ඉල්ලා ඉඩම් කච්චෙරියට සහභාගි වුණා කියා භුක්තිය දෙන්න බැහැ. ඉඩමේ භුක්තිය දෙන්න නම් ඒ සඳහා අවසර ගත යුතු ආයතනවලින් අනුමැතිය ගත යුතුයි. ඉන්පසු ඉඩම් ඇමැතිවරයාගේ අනුමැතිය ගෙන ගැසට් එකක් මගින් එය ප්‍රකාශ කළ පසුවයි භුක්තිය දෙන්නේ. නමුත් ඇමතිවරයාට එම නීතිය බලපා නැතැයි අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි.
නුවර වැවෙහි රක්ෂිත සීමාව ඇතුළත මීටර 88-88.5 ඉඩම් පිහිටීමේ මැනුම අනුව කැබලි අංක 27, 28 දෙක සේමසිංහ මහතාට අයත්‍් බව කියයි. මෙම ඉඩම් කැබලි දෙකම පිහිටා ඇත්තේ නුවර වැවේ සහ වැව් රක්ෂිතයේය. ඒ අනුව සේමසිංහ මහතා ඉදිකිරීම් කරන්නේ සහ ඉඩම පිරවීම් කරන්නේ නුවර වැවේ සහ වැව් රක්ෂිතයේ බව අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි. මෙහි කැබලි අංක 27 රක්ෂිත කොටසේ ඉදිකිරීමක් කරන බව අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි. රාජ්‍ය ඇමතිවරයාට මෙහි ඇති ඉඩම ලබා ගැනීමේදී එක් හිමිකරුවෙකුට තනියම අක්කර භාගයකට වැඩි ඉඩම් කොටසක් ගැනීමට බැරි නිසා ඉඩම කොටස් පහකට බෙදා හතර දෙනෙකුට බලපත්‍ර ලැබෙන සේ මිලදී ගෙන ඇති බව අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙයි. ඒ බව පිඹුරු අංක 20321/33T මගින් ද පැහැදිලි වන බව අජිත් මුණසිංහ මහතා පවසයි. නුවර වැවේ ජලය අදාළ ඉදිකිරීමට එන එක නතර කිරීමට අඩි හතක් පමණ උස විශාල බැම්මක් ඉදිකොට පස් දමා පුරවා ඇත. තවම මෙම ඉඩම් බලපත්‍ර නැති ඉඩම්ය. එම ඉඩම් බලෙන් අල්ලාගෙන රක්ෂිතය පුරවා ඉදිකිරීම් කරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද අජිත් මුණසිංහ මහතා පවසයි. මෙම ඉඩම රාජ්‍ය ඇමැතිවරයාට හිමි වීමට පෙර ගමේ වෙනත් අයෙකුට අයිතිව තිබුණි. එම ඉඩම රුපියල් ලක්ෂ තිහකට ඇමැතිවරයාට විකුණූ බවට ආරංචි තියෙනවලු කියා අපට තොරතුරු දුන් ප්‍රකාශකායා ද කියා සිටියේය.
රක්ෂිතය පුරවා ඉදිකිරීම් කර ඇති අයුරු
අනුමැතිය දුන්නේ කොහොමද කියා වැඩේ කරපු එකාගෙන් අහන්න
- නැනුප ප්‍රාදේශීය සභා සභාපති
බලපත්‍රයක් ඉල්ලූ ඉඩමකට සැලැසුම් කමිටුවේ අනුමැතිය නොමැතිව ඉඩම පිරවීමට සහ ඉදිකිරීමකට අවසර දුන්නේ කෙසේද යන්න ගැන නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.බී. කුමාරදාස මහතාගෙන් ද අපි විමසා සිටියෙමු. එහිදී සභාපතිවරයා කියා සිටියේ මෙවැන්නකි. ඔය කාරණය ගැන පත්තරවලටම කියලා මට ඇතිවෙලා. ඔයිට වඩා මට වැඩ තියෙනවා. මගෙන් ඒ ගැන අහන්නේ නැතිව ඒ අවසරය දුන්නේ කොහොමද කියලා හොයලා බලන්න. වැඩේ කරපු එකාගෙන් ඒක අහන්න. මට මේවා ගැන කියන්න බෑ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මම මේ ගැන යමක් කරලා තියෙනවා නම් නීත්‍යානුකූලව තමයි. මම නීති විරෝධී කිසි දෙයක් කරලා නෑ. ඒක නීත්‍යානුකූල ද නැද්ද කියා ඕන විදියකට හොයාගන්න යැයි නැගෙනහිර නුවරගම්පළාතේ සභාපති එස්.බී. කුමාරදාස මහතා කියා සිටියේය.
මේ ආකාරයට බලපත්‍ර නැති ඉඩමකට ඉදිකිරීම් සහ ඉඩම් පිරවීමට අවසර දුන්නේ කෙසේද යන්න ගැන අජිත් මුණසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ද නිසි පිළිතුරක් ලබා දී නැත. එම ඉල්ලීමට නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ ලේකම් බී.එච්. ප්‍රදීප් නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ සැලැසුම් කමිටුව මගින් ඉදිරිපත් කළ නෛතික ලියකියවිලිවලට අනුව අවසර ලබා දුන් බවය. එහි මිනුම්දෝරු සැලැසුමක පිටපතක් තෙවන පාර්ශ්වයේ එකඟතාවක් නැතිව ලබාදිය නොහැකි බව ද දන්වා ඇත.
- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
මෙම සියලු කාරණා ගැන අපි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් ද විමසීමක් කළෙමු. එහිදී ඇමතිතුමා පවසා සිටියේ මෙවැන්නකි.
මගේ ඉඩමට බලපත්‍රයක් තියෙනවද නැද්ද කියා නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසීමක් කරන්න. මට මේ වෙන තෙක් කිසිම කෙනෙක් රක්ෂිතයට අයිතියි කියා දැනුම් දීලා නෑ. මෙම ඉඩම සංවර්ධනය කිරීමට මට අනුමැතිය අදාළ ආයතනවලින් ලබා දීලා තියෙනවා. මගෙන් අද (2022-03-31) වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ගැන විමසීමක් කරලා තිබුණා. මම ඒ අයට අදාළ විස්තර ලබා දෙනවා. මට සංවර්ධනයට අදාළ ආයතන අවසර දීලා තියෙනවා යැයි ඇමතිතුමා කීය.
එලෙස අනුමතිය දී ඇති අදාළ ආයතන මොනවාද යන්න අපි නැවත ඇමැතිතුමාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඇමතිතුමා කියා සිටියේ ඒ රාජ්‍ය ආයතන ගැන මගෙන් අහන්න එපා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගෙන් විමසීමක් කරලා තියෙනවා. මම ඒ අවශ්‍ය විස්තර ටික ලබා දෙන බව ඇමතිතුමා කියා සිටියේය.
ඇමැතිතුමාගේ ඉඩම තියෙන්නේ නුවර වැව් රක්ෂිතයේ
- නැනුප ප්‍රාදේශීය ලේකම්
ඉඩමට බලපත්‍රයක් ඉල්ලා ඉඩම් කච්චේරියට සහභාගි වූ පමණින් ඉඩම පුරවා ඉදිකිරීමක් කිරීමට නෛතික බලය දුන්නේ කෙසේ දැයි අපි නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒක්නායක මහතාගෙන් ද විමසා සිටියෙමු.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ මෙවැන්නකි.
මෙම ඉඩම බලපත්‍ර ඉඩමක්. එම ඉඩම මිලදී ගන්න සංවර්ධන වටිනාකමක් ගෙවන්න ඕන. එහි කලින් බලපත්‍රය අවලංගු කරලා සේමසිංහ ඇමැතිතුමා මෙම ඉඩම මිලදී ගත්තා. එයාගේ නමින් එක් කොටසක් තියෙනවා. තව කොටස් වෙනත් අය නමින් තියෙනවා. අපි බලපත්‍ර ලබාදීමට සුදුසුයි කියලා ඉඩම් කච්චෙරියට මේ අයව යොමු කරලා තියෙනවා. මෙම ඉඩමට බලපත්‍ර ලබාදීමට පෙර එම ඉඩම ගැන අනුමැතිය ගත යුතු ආයතනවලින් විමසීම් කරනවා එම ඉඩම නිදහස් කිරීමට සුදුසු දැයි කියා. මෙම ඉඩමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ඒ අය ඊට අනුමැතිය දෙන්නේ නැත්නම් අපි බලපත්‍ර ලබාදීම නතර කරනවා. මීටර 88-88.5 කියන මැනුමට ඔය ඉඩම රක්ෂිතයට අයිතියි. එතකොට ඒක වැව් රක්ෂිතය. එවිට බලපත්‍ර දෙන්න බැරි බව ප්‍රාදේශීය ලේකම්වරයා පෙන්වා දෙයි.
ඉඩමට බලපත්‍රයක් ලබා දී නැත්නම් මෙම ඉඩම පිරවීම සහ ඉදිකිරීම් සිදුවෙන්නේ කෙසේ දැයි යන්න ද අපි ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසා සිටියෙමු. එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීමක් කරන විට සහ ඉඩම පිරවීමකදී ඒ සඳහා අනුමැතිය ගත යුත්තේ පළාත් පාලන ආයතනයෙන් බවය. අපිට ඉල්ලීමක් කළ විට ඉඩම් කච්චෙරියකින් බලපත්‍රය දෙන්න පෙර භුක්තිය දෙනවා. පළාත් පාලන ආයතනය ඉදිකිරීමට අවසර දීමට පෙර අදාළ සැලැසුම් කමිටුවේදී රාජ්‍ය ආයතනවල අනුමැතිය අරගෙන ඉදිකිරීමට අවසර දෙනවා. එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනිවාර්යයෙන්ම අවසරය ගත යුතුයි. ඒ අය අනුමැතිය දීලා නැත්නම් ශෙහාන් සේමසිංහ ඇමතිතුමාගේ ඉඩමේ පිරවීම සහ ඉදිකිරීම අනවසරයි. එවිට එම ඉදිකිරීම් කඩා ඉවත් කළ හැකියි. මීට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සන්තකය ආපසු පවරා ගැනීමේ පනත අනුව නඩු පවරන්න පුළුවන් යැයි නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා පෙන්වා දෙයි.
නුවර වැවේ රක්ෂිත කොටසේ ඉඩමක් ඉල්ලා සේමසිංහ මහතා කටයුතු කර ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් ද පැහැදිලි වෙයි. මෙහි ඇති අනෙක් කාරණය වන්නේ රක්ෂිතයක් බව දැන දැනම එම ඉඩම් සඳහා බලපත්‍රයක් ලැබෙන තුරු භුක්තිය දීමට නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කිරීමය. නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන පරිදි මෙය ඇත්තටම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් දැයි දන්නේ නැත.
ඉඩම් කච්චේරියට සහභාගී වූ බව සනාථ කරන ලියවිල්ල සහ වැව් රක්ෂිතයේ ඉඩම ඇති බව පෙන්වන මිනුම්දෝරු පිඹුර
ඇමැතිතුමාට ඉඩම දෙන්න අපි අනුමැතිය දීලා නෑ
- ප්‍රාදේශීය අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. ඩී. මැදිවක
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශ්‍ීය අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. ඩී. මැදිවක මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී කියා සිටියේ සේමසිංහ මහතාට ඉඩම පිරවීමට හෝ ඉදිකිරීම් කිරීමට කිසිදු අනුමැතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැති බවය. බලහත්කාරයෙන් පුරවනවා නම් ඒක නතර කර යුත්තේ වාරිමාර්ග ආභු පනතේ 65 වගන්තියේ නීතිය ප්‍රකාරව නතර කළ හැකියි. එලෙස වෙන අනවසර ඉදිකිරීමක් හෝ පස් පිරවීම ගැන ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයාගෙන් අසා හෝ දිසාපතිවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකියි. ඒ සඳහා ඔවුනට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නීතිය අනුව කළ හැක්කේ සන්තකය ආපසු පවරා ගැනීම යටතේ නඩු පැවරීමයි. ඒ කටයුතු කරන්න මට නීතිමය ලියවිලි හරියට ඕනැ. කොහොමත් අපි මේ ගැන නීතිමය පියවර ගන්නවා යැයි මැදිවක මහතා කියා සිටියේය. ඔප්පු නැතිව රක්ෂිතයක ඉදිකිරීමක් කරනවා නම් කවදා හරි කඩලා ඉවත් කරන්න පුලුවන්. අපි අවසර දීලා නැති වුණාට සේමසිංහ මහතාගෙන් මේ ගැන විමසීමේදී කියා සිටියේ මේකට ඔප්පු තියෙනවා කියනවා. අපි ඇමැතිතුමාට වැවේ සහ රක්ෂිතයේ ගොඩ කිරීමට හෝ ඉදිකිරීමකට කිසිදු අනුමැතියක් ලබාදීලා නෑ. අපෙන් ඒ ගැන අහලා පසුගිය සතිය වෙනකම්ම අනුමැතියක් සේමසිංහ මහතා ඉල්ලා නෑ. නමුත් දැන් මාස ගණනක් තිස්සේ ඉදිකිරීම් සහ ගොඩ කිරීම් සිදුවෙනවා යැයි මැදිවක මහතා කියා සිටියේය. මේ ගැන වැඩි විස්තර අනුරාධපුර නුවර වැව බාර වාරි ඉංජිනේරු ලසිදු මහතාගෙන් විමසන ලෙසද මැදිවක මහතා කියා සිටියේය.
ඒ අනුව අප වාරි ඉංජිනේරු ලසිදු මහතාගෙන්ද මේ ගැන විමසා සිටියෙමු. එහිදී ලසිදු මහතා කියා සිටියේ සේමසිංහ මහතාගෙන් වැව් රක්ෂිතය පිරවීම ගැන විමසා සිටි බවය. ඇමැතිතුමා කියන්නේ එම ඉඩම සඳහා බලපත්‍රයක් ඇති බවයි. අපට ඒක ඉදිරිපත් කරන්න කියා අපි ඉල්ලීමක් කළා. මෙම ඉදිකිරීම වෙනුවෙන් අපෙන් කිසිම අවසරයක් අරගෙන නෑ. අනෙක් රාජ්‍ය ආයතන අපෙන් අවසරය ගන්නේ රක්ෂිතය නිරවුල් කර ගන්න විතරයි. රක්ෂිතයක කිසිදු ඉදිකිරීමකට අපි අවසර දෙන්නේ නෑ. නුවර වැව් රක්ෂිතය මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් මැනුම් කරනවා. එම මැනුම් අනුව රක්ෂිත කොටසට සේමසිංහ මහතාගේ කියන ඉඩම තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කළ හැකියි. අපි ප්‍රාදේශීය ලේකම්තුමාගෙනුත් ඉල්ලා තිබෙනවා මෙම ඔප්පුවල ස්වභාවය කුමක්ද කියා කියන ලෙසට. එසේ හඳුනාගෙන සන්තකය යටතේ නඩු පවරනවායි ලසිදු මහතා කීය.
අපි අනුමතිය දීලා නෑ
- නාගරික සංවර්ධන අධිකාරිය
සේමසිංහ මහතා නුවර වැවේ කරන ඉදිකිරීම්වලට නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබා දුන්නාද කියා අපි නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාතේ පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතාගෙන් විමසා සිටියෙමු. එහිදී සෝමරත්න මහතා කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නුවර වැව් රක්ෂිතයේ ඉදිකිරිම්වලට නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු අනුමැතියක් ලබා දී නැති බවය. වලංගු බලපත්‍රයක් ඇති විට ඉදිකිරීම් සඳහා නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත සැලැසුමක් තිබිය යුතුයි. එම අනුමත කිරීමට පෙර රක්ෂිතයක නම් අනෙක් රාජ්‍ය ආයතනවල අනුමැතිය ලැබිය යුතුයි. ඉඩමක බලපත්‍රයක් නැතිව ඉදිකිරීමක් වෙනවා නම් අදාළ පළාත් පාලන අයතනයට පුළුවන් ඒවා ඉවත් කරන්න. එසේ නැත්නම් ඒ රක්ෂිතය අයිති රාජ්‍ය ආයතනයට හැකියාව තියෙනවා ඉදිකිරීම් වෙන්නේ රක්ෂිතයක නම් එය ඉවත් කරන්න. අපෙන් තාම අනුමැතිය ඉල්ලලා නෑ. මේ ඉදිකිරීම් ගැන අපි සොයා බලනවා. නිසි ක්‍රමයට වැඩේ වෙන්නෙ නැත්නම් එම ඉදිකිරීම අනවසරයි. මෙම ඉදිකිරීමට පෙර සැලැසුම් කමිටුවේ අනුමැතිය, ක්ෂේත්‍ර පරික්ෂා වර්තාව, මහජන පරීක්ෂක වාර්තාව, පරිසර වාර්තාව, වාරිමාර්ග වාර්තා අරගෙන තමයි සැලැසුම් කමිටුව අනුමැතිය දෙන්නේ. අපේ නියෝජිතයෙක් සැලැසුම් කමිටුවට යනවා. අපේ නිලධාරියා කවදාවත් බැරි ඒවාට අනුමැතිය දෙන්නේ නෑ. හැබැයි එසේ නොමැතිව ඉදිකිරීමක් සැලැසුම් කමිටුවේ නිසි අනුමැතිය නැතිව කරලා නම් ඒක නීත්‍යානුකූල නෑ. ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා යැයි සෝමරත්න මහතා කීය.
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියත් නෑ
රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉඩම් ගොඩකිරීම ගැන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ද මේ ගැන කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සේමසිංහ මහතාගේ ඉඩම් ගොඩ කිරීමක් ගැන කිසිදු අනුමැතියක් ලබා දී නැති බවය. එසේම මේ ගැන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී සභාපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයෙන් විමසීමක් කොට අපට සනාථ කර සිටියේ සේමසිංහ මහතා නුවරවැව් රක්ෂිතයේ කරන පිරවීම් සහ ඉදිකිරීම් වෙනුවෙන් කිසිදු අනුමැතියක් තම ආයතනයෙන් ලබා දී නැති බවය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගන් මෙම ඉදිකිරීම් නවතාලීමට මැදිහත් විය නොහැකිද කියා කළ විමසීමකදී කියා සිටියේ 65 වගන්තියට අනුව දිසාපතිවරයාට මැදිහත් වෙන්න යම් බලයක් තිබුණත් ඉඩම් ගොඩකිරීමකදී ඒ සඳහා මැදිහත් වීමේ බලය ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාට බවය. කලක් තිස්සේ බලෙන් අල්ලාගත් ඉඩමක සන්තකය ආපසු පවරා ගැනීමේදී 97 සංශෝධිත පනත අනුව සියලුම බලය යන්නේ එම රක්ෂිතය අයිති රාජ්‍ය සමාගමට. ඒ අනුව කටයුතු කළ යුත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යැයි ජයසුන්දර මහතා කියා සිටියේය.
නගර සභාවේ අනුමැති නෑ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් උත්තර නෑ
මෙම ඉදිකිරීම්වලට අනුරාධපුර නගර සභාවෙන් යම් අනුමැතියක් ලබා දී ඇත් ද යන්න ගැන එම නගර සභාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දන්නා තරමට රාජ්‍ය ඇමැතිවරයාගේ ඉදිකිරීම් සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නැති බවය. අප මේ ගැන අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
නුවර වැව විනාශ කරන තවත් ප්‍රභූවරයකුගේ තොරතුරු ලබන සතියට...
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
වෙළෙඳපොළේ නාඩු හිඟයක් පවතින හෙයින් එයට කඩිනම් විසඳුමක් ලෙස නාඩු හාල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉදිරියේදී ඉන්දියාවෙන් අනිවාර්යයෙන් මෙරටට ආනයනය කරන බව කෘෂි
වෙබ් අඩවිවල පළ කර ඇති සහ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන අසභ්‍ය වීඩියෝ, සංවේදී හා සරාගී ඡායාරූප ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් මෙම වසරේ මේ දක්වා කාලයේදී පැමිණිලි
විදෙස්ගත ශ්‍රමිකයන්ට (රටවිරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ ව
කොළඹ ජාතික අක්ෂි රෝහලේ පවතින අක්ෂි කාච හිඟය හේතුවෙන් අක්ෂි කාච බද්ධ කර ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ ද
උසස් පෙළ විභාගය හෙට (25දා) සිට ලබන මස 20 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 2312 කදී පැවැත් වේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමෙන් මෙරට කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතියට පයින් ගසා නුවර වැවේ වෙට්ටු දාන සේමසිංහ
fairoos Monday, 04 April 2022 05:17 PM
මෙයාලගේ නැටුම දැන් ඉවරයි. මේවාට දඬුවම් ඊළඟ ආණ්ඩුවකින් ලැබුණේ නැතිනම් සොබා දහමින් හරි ලැබේවි...!
hesa Monday, 11 April 2022 11:05 AM
ඇයි එතකන් ඉන්නේ...? ගිහින් ඇදල අරන් කියලා ආපසු ගන්නයි ඕන...!