IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අපේ රටේ නවසීලන්තය


අප රටේ ඇති බොහෝ දෙනෙකු වැඩිපුර නොයන තැන් ගැන අපටත් වඩා බොහෝ විට දන්නේ විදේශීය සංචාරකයින්ය. එනිසා එවැනි තැන්හි සැරිසැරීම වෙනුවෙන්ම මෙහි පැමිණෙන විදේශීය සංචාරකයෝ එමටය. ඒ හැර ලාංකීය ස්වර්ණභූමියේ රස තැන් - යස තැන් සොයා යන පරිසරය හා පෙමින් වෙලී සිටින දේශීය සංචාරකයෝද වෙති. 

‘‘සැරිසරා’’ මේ සටහන් කරන්නේ, තවමත් සංචාරක ගහනයෙන් කිලිටි නොවූ එවැනි හරි අපූරු පරිසරයක් ගැන වූ විස්තරයකි.

මෙතැන,  අප රටේ - ‘‘නවසීලන්තය’’ ලෙස අපි නම් කරමු. නවසීලන්තය යැයි කී විගස, ඔබ ගතට ගෙන දෙන්නේ සිහිල් බවකි. නෙතට මැවෙන්නේ හරිත නිම්නයක අසිරියකි. ඒ අසිරිය ඒ සිහිල මවාගෙන අපේ රටේ මේ සොඳුරු පාරාදීසය කරා මොහොතකට අපි පියමං කරමු.

ඇරඹුම කොළඹින් පටන් ගන්නේ නම් , කොළඹ සිට නුවරට යා යුතුය. එතැනින් මාතලේ, ලග්ගල වෙත ගිය පසු, එතැන් සිට රිවස්ටන් කලාපයට යා යුතුය. ’’රිවස්ටන්’’ මොන වගේද යැයි ඔබට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. රිවස්ටන් යනු සුන්දර පාරාදීසයකි. අධික සුළඟ, මෙන්ම දහවලේ දී පවා පවතින්නේ මීදුමෙන් වැසී ගිය පරිසරයක ස්වභාවයකි. විනාඩි පහෙන් පහට දහයෙන් දහයට වෙනස් වන කාලගුණික විපර්යාසයන් එහිදී දැක ගත හැකිය. මේ අප සිටින්නේ ලංකාවේද යන්න සිතා ගත නොහැකි තරමට ඒ පරිසරය වෙනස්ය. තරමක දුෂ්කර කන්දක් තරණය කොට බෑවුමකට සේන්දු වූ විට පිටවලපතන හමුවේ. පිටවලපතන ගැන ද අප රටේ බොහෝ සංචාරකයින් හට අමුතුවෙන් කිවයුතු නොවේ. පුංචි ලෝකාන්තය ඇත්තේද , මේ පිටවලපතනේය.



අප ඔබ කැඳවාගෙන යන මේ කියන සොඳුරුතම පාරාදීසය ඇත්තේ පිටවලපතනට එහායින් තවත් කිලෝමීටර තුන හතරක් ගිය පසුවය. එලෙසින් ගිය පසු හමුවන ගම්මානයට හරි අපූරු දසුනක් දැකගත හැකිය. එය ගල් පර්වතයකි. හරිත නිම්නයක් අතරින් පිහිටා ඇති එය හඳුන්වන්නේ ‘‘මානිගල’’ නමිනි. ගම්මු විශ්වාස කරන විදිහට ‘‘රාවණා රජු, ඔහුගේ දඬු මොනරය බෑම සඳහා භාවිතා කර ඇත්තේ, මේ කියන මානිගල පර්වතය යැයි ඔවුන්ගේ  අදහස වේයි. 

ශානක, හර්ෂණ, රවින්ද්‍ර, තරංග , ෂෙහාන්


පිටවලපතන සිට තැනිතලා, නිම්න, කඳු, කෙත්වතු හරහා කිලෝමීටර් තුන හතරක් පමණ ගිය පසු මෙම ‘‘මානිගල’’ පර්වතය ඇති ස්ථානය හමුවේ. එතැනට යාම නම් සැබවින්ම දැඩි දුෂ්කරය. මෝටර් රථයකින් යා නොහැකි ගමනකි. පිටවලපතනේ සිට ඉලුක්පොත දක්වා පමණක් රථයකින් ගමන් කළ හැකිය. නවාතැන් ගත හැකි ස්ථානය ඇත්තේ , ඉලුක්පොතය. එතැන් සිට මානිගල පර්වතය අසලට යන්නේ නම්, ඉහත කී විදිහට කෙත් වතු නිම්න කඳු පල්ලම් බෑවුම් පසුකොට දුෂ්කර ගමනක යෙදිය යුතු වේ. සුදු ජාතික සංචාරකයින් හට ඒ ගමන ගෙන දෙන්නේ දුෂ්කර බවක් නම් නොවන වග පෙනී යයි. පැමිණි දුක් පැණිරස යයි කියන්නාක් මෙන්, ඔවුන් ඒ දුෂ්කර ගමන මිහිරි ගමනක් බවට පරිවර්තනය කරගෙන, ඒ අපූරු ගමනට එක් වන අයුරු දැක ගත හැකිය.

ඔවුන් එලෙසින් ඒ ගමන මිහිරිතම ගමනාන්තයක් බවට පත් කර ගැනීමට හේතුව වන්නේ, පරිසරයේ විවිධත්වය අත්විඳීමට ඇති අවකාශය මෙන්ම, රාවණා රජු යානය නැවැත්වීම සිදුකළේ මේ පර්වතය මුදුනතය යැයි යන පුරාවෘත්තය ගැන ඇති කුතුහලය නිසාවෙනි. එමෙන්ම මේ පර්වතයෙහි පැත්තක සමචතුරශ්‍රයක් මෙන් කොටසක් කපා ඉවත් කර තිබීම කෙසේ කළේද යන්න පවා සිතා ගත නොහැකි තරමේ මවිතය ගෙන දෙන්නකි. එම පර්වතයෙහි කුට්ටියක් හරි හතරැස් හැඩයට කපා ඉවත් කළේ කවුද? රාවණා රජුගේ කාලයේදී සිදු කළේ නම්? එසේ කර ඇත්තේ ‘‘වේලාව බලන්නටය. ඉරඑළිය එම කොටසට පතිත වන අයුරු අනුව ගම්මුන්ට වේලව ටක්කෙටම කිවහැකිය. අදට ද ඒ ගමේ ගොවිතැන්වල නියැළෙන උදවිය වේලාව බලන්නේ ‘‘මානිගලෙනි. ඊට මානිගල ලෙස නම් තබා ඇත්තේ ද එනිසාවෙනි. හේන් කොටන අය, කුඹුරු අය අදට ද කරන අය වේලාව බලන්නේ මේ ‘‘මානිගල පර්වතයෙහි එම කොටසට පතිත වන හිරු එළිය අනුවය. 

කෙසේ වෙතත් මෙම මානිගල පර්වතය දහවල් 12ට එක්වරම අතුරුදන් වන අවස්ථා දැක ගත හැකිය. එලෙසින් සිදුවන්නේ අධික මීදුම පර්වතය වසා ගන්නා බැවිනි. තවත් දසුනක් පැහැදිලි රාත්‍රියකදී දැකගත හැකිය. ඒ තරු පිරි මේ අහස් වියන යටින් ගුවන් යානා නිරන්තරයෙන් පියාසර කරන අයුරුය. ශ්‍රී ලංකා භූමිය වෙත ගොඩබෑම සඳහා පැමිණෙන සියලු ගුවන් යානා ගමන් ගන්නේ හරියටම මානිගලට මුදුනෙනි. රාවණා රජු ගැන සහ එකළ තිබූ තාක්ෂණය ගැන යළි යළිත් අපට සෙවුම්-බැලුම් කිරීමට සිත් ඇති වන්නේ මෙකී අරුම පුදුම හේතු නිසාය. රාවණා රජු මේ පර්වතය තෝරා ගන්නට ඇත්තේ එය ගුවන් යානා ගමන් ගන්නා මගක, එනම් ගොබෑමට පහසු මාර්ගයක් ඔස්සේ යැයි විශ්වාස කළ හැකි කරුණකි. ඉලුක්පොත නවාතැන් (බංගලාවේ) සිට ඒ දර්ශනය හොඳින් නිරීක්ෂණය කළ හැකිය.


බැලූ බැලූ අත හරිත පැහැයෙන් යුතු ‘‘මානිගල ගම්මානය බෙහෙවින් සශ්‍රීක වූ පළාතකි. බව භෝගවලින් සපිරි සරු භූමියකි. නේක වර්ගයේ පළතුරුද ඇති නිසා විවිධ පක්ෂීන්ගේ රජදහනක් බවට පත්ව තිබේ. වලිකුකුළන් පවා දැක ගත හැකිය. මෑතක දී සිට මේ පළාතේ අලි ගැවසෙන බවට ද ආරංචිය. මෙහි වෙසෙන ගොවීන් බහුලව වගා කරන්නේ, එනසාල් සහ ගම්මිරිස්ය. හෙල්මලු ක්‍රමයට වී වගාව ද කෙරෙන අතර, මෙහි වෙසෙන ගම්මුන් සතු ඉහළම සම්පත නිරෝගීකමය. පාරිසරික දූෂණයට හසු නොවී නැවුම් පරිසරයක විසීම ඊට හේතු වේ. වයස අසූව ඉක්ම වූ මිනිසුන් පවා ගොවිතැනෙහි නිරත වන අයුරු දැක ගත හැකිය. එනිසාම ඒ ගම ඉතා ස්වයංපෝෂිතය. මාතලේ සිට මෙම ගම්මානයට ඇති දුර කිලෝ මීටර හතළිහක් - පනහක් පමණ වුවද, ඒ ගමන දුෂ්කර වී ඇත්තේ මාර්ගය කඳු වංගු සහිත මගක් වන හෙයිනි. රැකියා කරන උදවිය මාතලේට යන්නේ නම් ඔවුන් සඳුදා දින මාතලේට ගොස් එහි නවාතැන් ගෙන සිටින අතර, සති අන්තයේ ගමට යයි. මාතලේ සිට ලග්ගලට, ලග්ගල සිට පිටවලපතනටද ඉන් පසු ඉලුක්පොතටද යා යුතුය. ඉලුක්පොත සිට මානිගලට කිලෝමීටර තුනක් පමණ ඇත. එලෙසින් රාජකාරි අවසන් කොට යළි ගමට පැමිණෙන අය ස්නානය කරන්නේ, ඇළක හෝ දොළකිනි. ඒවායේ ගලා බසින ජලය ඉතා පිරිසිදුය. පරිසරයේ ගස්, මුල්, ගල් සිප ගලා එන ජලය ස්නානය කරන නිසා, මේ මානිගල ජනයාගේ නිරෝගී සුවයට එය හේතුවක් විය හැකිය. වී ගොවිතැනේදී මේ ගමේ අය වත්මනෙහි දී පවා අනුගමනය කරන්නේ- ඉපැරණි ක්‍රම සහ වගා කරන්නේ එකළ භාවිතා කළ වී වර්ගය. වස විස නැති නිසාවෙන් ඒ එක බත් කටක රස දිවියට සෞඛ්‍ය සම්පන්න බවක් ගෙන දෙයි.


රත්තොට කන්ද නැග කිලෝ මීටර දහයක් පමණ ගිය පසු ලකේගල කන්ද දැක ගත හැකිය. එය ඉලුක්පොත නවාතැන් ගන්නා බංගලාවට කදිමට දර්ශනය වේ. මේ බංගලාව ද දේශීය සංචාරකයින් හට වෙන් කර දීමට වඩා, විදේශීය සංචාරකයින් හට දීමට හිමිකාරිත්වය මනාප බව පෙනේ. ඊට හේතුව මෙහි පැමිණෙන විදේශීය සංචාරකයින් කිසිඳු ශබ්දයක් නැතිව ඒ අමුතු පරිසරයේ ආශ්වාදය විඳගන්නා බැවිනි. එතනදී ඔවුන් එහි ගෙවන්නේ, භාවනාවකට සමවැදී ගත කරන දින කීපයක් මෙනි. ගතට සිතට මනසට ප්‍රබෝධයක් ගෙන දුන් ඒ සංචාරය සදන්නේ අලුත් ජීවිතයකි. ඒ සංචාරය නිමවා යළි නගරයට එන්නේ අලුත් මිනිසෙකි. 

මානිගල කඳු නිම්නයේදී  අත්භූත සිදුවීම් වල අත්දැකීම් ලබා ගත හැකි යැයි බොහෝ සංචාරකයින් විශ්වාස කරති. ඒවා හොල්මන්-අවතාර වලට එහා ගිය  අදැහිලි සමග අත් විඳ ගත හැකි සිදුවීම්ය. එකල රාවණා පුරා වෘත්තයට අනුව යානාවල එළි රාත්‍රියේදී අදටද දැකගත හැකිය. ඒවා කොහේ සිට කොහේ යන්නේද යන්න නම් වෙනමම ගවේෂණය කළ යුත්තකි. රාවණාගේ යානයේ ආලෝක එළි මෙන් ඒ එළි දිස්වන්නේ යැයි ගම්මුන්ගේ අදහස වෙයි. 

එදා අපි නැවතිලා හිටියෙ මානිගලට කිලෝමීටර පහක් විතර මෙහායින් ඇති බංගලාවක.  අපේ වාසනාවට එදා හඳ පායලා තිබුණෙ.  තරු එළි අතරින් ඉඟි-බිඟි පාමින් සුදු සඳවතියගෙ රැස් දහරින් මානිගල අපූරුවට හැඩවෙලා තිබුණෙ. ඒ අතරේ මීදුම් සළු පාව විත් මානිගල කොමලිය වටා දැවටෙන්න පටන් ගත්තා. එය පුදුමාකාර වූ චමත්කාරයක් ගෙනදුන් දසුනක්. අපි කිසිවෙකු කතාබහක් නැතුව බලාසිටියෙ වෙනමම ලෝකයක තනිවූ පිරිසක් වගෙයි. ඇත්තටම ඒ දසුන නම් වෙන කොහේදීවත් දකින්න ලැබෙන්නේ නැහැ.  සීත පින්නේ සොබදහමේ මේ අසිරිය විඳිමින් සිටින අපට නින්ඳ අහලකටවත් ආවේ නැහැ. මිහිදුම් සළුතිර පැලැඳි මානිගල නව යොවුන් මනාලියක වගේ අපට පෙනුණෙ. මාරම -මාර ලස්සනක්.  නිදි නොමැතිව සිටි ඒ රාත්‍රිය පහන් කරමින් සිටියදී පාන්දර ජාමේ අපට මේ මානිගලට උඩින් සැරින් සැරේ එහාට මෙහාට පාව යන එළි දකින්න ලැබුණා. ගම්මුන්ගෙ විශ්වාසය ටක්කෙටම හරි වග අපට තේරුම් ගියා. අදටත් අපි කල්පනා කරන්නේ ඒ පාව ගිය එළි මොනවා ද කියලයි. ඒක අදටත් අපට පුදුමයක්.

නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන ටෙලි නිර්මාණවේදී රවීන්ද්‍ර විජේරත්න ඔවුන් එදා මානිගලදී අත්දුටු දේ ගැන මතක ​අවදි කළේ එලෙසින්ය. ඔහුට මේ පළාත එක්ක ආත්මීය බැඳීමක් ඇත්තේ ඔහුගේ පළමු ටෙලි නිර්මාණය වූ ඉන්ද්‍රචාපා  තේමා ගීතය වෙනුවෙන් 2002 දී රූගත කිරීම් සිදුකර තිබුණේ මේ සුන්ඳර පළාත්දී වීම නිසාය.  මෙලෙසින්  අපූර්වත්වයන් විඳ ගන්නා සොඳුරු මිනිසුන් පිරිසක් ලෙස, රවින්ද්‍ර විජේරත්න සහ නිෂ්පාදකයකු මෙන්ම රංග ශිල්පියකු වන තරංග දිසානායක මෙන්ම ඔවුන්ගේ ඇසුරේ සිටින නඩය නම් කළ හැකිය.       මේ ගම ගැන සියලු තොරතුරු ලබා දුන්නේ ස්වකීය අත්දැකීම් මත රවින්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායකය. ඔවුනට ’’‘‘සැරිසරා’’ ස්තුතිය හිමිවේ.


මේ පළාතේදි  තවත් නිර්මාණ කරුවන් විසින්  වෙළඳ දැන්වීම් කීපයක්ම මෙහිදී රූගතකර තිබේ. අමිල අබේසේකර-උපේක්ෂා ස්වර්ණමාලි පෙනී සිටි ජනප්‍රිය වූ දැන්වීමක රූගත කිරීම් ඇතුළු මෙම පළාතේදි කළ අනෙකුත් දැන්වීම් සියල්ලම ජනප්‍රිය වූ බව සඳහන් කළ හැකිය.  

මේ සොඳුරු නිම්නයේ සංචාරය කරන්නේ නම් වඩා සුදුසු පායන සමයේදිය.. එනම් ජනවාරියේ සිට අප්‍රේල් දක්වා වඩා සුදුසු යැයි කිව හැකිය. දිනෙක ඔබත් එහි ගිහින් එන්න යන්න. නමුදු ඒ නොඉඳුල්  පරිසරය ඉඳුල් නොකරන්න වග බලා ගන්න.


සඳුන් ගමගේ


 



අදහස් (0)

අපේ රටේ නවසීලන්තය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

කොදෙව් බල බිදීම
2024 ඔක්තෝබර් මස 16 33 0

විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3කට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 ත


හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 16 35 0

ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය.


කාම්බෝජ යුද අතීතය ලොවට කියන සියම් රියප් කෞතුකාගාරය
2024 ඔක්තෝබර් මස 15 24 0

ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි.


අපේ රටේ නවසීලන්තය
2024 ඔක්තෝබර් මස 15 29 0

අප රටේ ඇති බොහෝ දෙනෙකු වැඩිපුර නොයන තැන් ගැන අපටත් වඩා බොහෝ විට දන්නේ විදේශීය සංචාරකයින්ය.


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය
2024 ඔක්තෝබර් මස 15 43 0

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්
2024 ඔක්තෝබර් මස 15 36 0

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site