එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්නේ ගෙදර කාන්තාවන් ය. අලුත් අවුරුද්දට පරිසරය අලුත් වුණත් නැතත්, අලුත් ඇඳුමක් නම් ඕනෙ බව මේ බක් මහේ සෑම ගෙදරකම ඇසෙන හඬක් බවට සැකයක් නැත. ඒ නිසා මෙවර ලිපියෙන් අලුත් අවුරුද්දත් සමග මේ තරමට බැඳී තිබෙන ඇඳුමේ වර්ණයෙන් අලුත් අවුරුද්ද සුබ වෙන්නේ කෙසේදැයි පාඨක ඔබව දැනුවත් කිරීමට අපි සිතුවෙමු.
අවුරුදු චාරිත්‍ර අකුරටම ඉටු කළත් බොහෝ දෙනාට සුබ මොහොතෙන් සුබ වර්ණයකින් සැරසීමේ අවශ්‍යතාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැත. අරුත නොදැන කරන චාරිත්‍රයන්ට වඩා අර්ථය දැන කරන චාරිත්‍ර ප්‍රතිඵලදායක බව අපි සැම දනිමු.
අලුත් අවුරුද්දට සුබ වර්ණයක් ඇඳීම කළ යුත්තේ ඇයි දැයි දැනගැනීමට ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක අපි සම්බන්ධ කර ගත්තෙමු.
මොකක්ද මේ සුබ වර්ණයක් කියන්නේ?
සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂයට අනුකූලව සුභ වර්ණයක් තේරීම අනිවාර්යයෙන්ම සිදු වන්නක්. ඒකට හේතුව යම් කිසි නැකතක් හැදුවට පස්සෙ ඒ නැකතේ බලය ක්‍රියාත්මක වෙන්නට ඊට අදාල වර්ණයක් තියෙනවා. මේ වර්ණ තෝරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ප්‍රධානම ක්‍රමය තමයි දිනයට අදාල වර්ණය තේරීම. ඒක තමයි බහුතරයක් කරන්නේ. ඊට අමතරව සමහර වෙලාවට ඒ අදාළ නැකතෙ ඉන්න ග්‍රහයා, නැත්තම් නැකත් අවස්ථාවේ වැඩිම බලය ක්‍රියාත්මක වෙන ග්‍රහයාට අයිති වර්ණය අපි තෝරනවා.
ඔය කියන ක්‍රම දෙක තමයි සුබ වර්ණයක් තෝරන විට වැඩිපුරම භාවිත වෙන්නේ. මීට අමතරව එක් එක් ගුරුකුලවල තව ක්‍රම කීපයක් තියෙනවා. නමුත් මූලිකවම භාවිත වෙන්නේ දිනයට අධිගෘහිත වර්ණය භාවිත කිරීම. අනිත් එක තමයි මේ වැඩේට අපි නැකතක් හැදුවට පස්සේ නැකතට අදාළව බලගතු කරලා තියෙන ග්‍රහයාගේ වර්ණය භාවිත කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් බදාදා දවසක් නම් බුධට අයිති වර්ණය. බදාදා අයිති බුධ ග්‍රහයටනේ. සතියේ දවස් හත හැදිලා තියෙන්නේ ග්‍රහයො හත්දෙනාට.
රවි - ඉරිදා සූර්යාට
සඳුදා - සඳු
අඟහරුවාදා - කුජ
බදාදා- බුධ
බ්‍රහස්පතින්දා - ගුරු
සිකුරාදා - සිකුරු
සෙනසුරාදා - සෙනසුරු
ඉරිදා දවස ගත්තොත් ඉරිදට සූර්යාට අයිති විශේෂ වර්ණය වෙන්නේ තඹ වර්ණය. තව රන්වන් වර්ණය භාවිත කරන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඉරිදා දවස වුණත් බුධ ග්‍රහයා බලගතු කරලා මොකක් හරි අධ්‍යපනික වැඩක්, මූල්‍ය වැඩකට ඉරිදා දවසේ යොමුවෙනවා නම්, එතකොට බුධ ග්‍රහයට අයිති වර්ණය කොළ පැහැය නිසා ඒ කාර්යය සාර්ථක කරගන්න කෙනෙක්ට ඕනෙ නම් බුධට අයිති කොළ වර්ණය යොදාගන්නත් පුළුවන්. ඒ විදිහට ඕනෑම ආකාරයකට මෙය කළ හැකි වුණත් නැකතක ප්‍රතිඵලය ගැනීමට නම් ඊට අදාළ වර්ණය භාවිත කිරීම අත්‍යවශ්‍යයි. එය සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂයේ දී මූලිකව එන සිද්ධාන්‍තමය කරුණක්.
අලුත් අවුරුද්දට සුභ වර්ණය තෝරන්නේ ?
මේ අවුරුද්දේ අවුරුදු උදාව තියෙන්නේ අප්‍රේල් 14 වෙනි සඳුදා පූර්ව භාග 03.21 ට නේ. ඊළඟට ආහාර පිසීම තියෙන්නේ පූර්ව භාග 04.04 ට. අපි ජ්‍යෝතිෂයේ දී මිනිස්සුන්ගේ පහසුවට ලිතේ මේක ලියන්නේ සඳුදා පූර්ව භාග කියලා. හැබැයි ජ්‍යෝතිෂයේ දී ඉර උදාවක ඉඳලා ඊළඟ ඉර උදාව දක්වා අපි ගන්නේ එක දවසක් විදිහට. ඔරලෝසු ක්‍රමයට නැත්තම් සාමාන්‍ය ඉංග්‍රීසි කැලැන්ඩර් ක්‍රමයට අපි දවසක් ගන්නේ රෑ 12 ඉඳන් ඊළඟ රෑ 12 වෙනකල් නෙ. මේකට අපි ජ්‍යෝතිෂයේ දී කියන්නේ ලංසි ක්‍රමය කියලා.
නමුත් සම්ප්‍රදායානුකූලව ඕනෑම ජ්‍යෝතිෂවේදියෙකු ජ්‍යෝතිෂයට අනුව දිනයක් කියලා සලකන්නේ ඉර උදාවේ ඉඳලා ඊළඟ ඉර උදාව දක්වා. එතකොට මෙතනදී 2025 අප්‍රේල් මාසෙ 14 වෙනිදා සඳුදා ඉර පායන්නේ උදේ 06.03ට. ඉරිදා ඉර පායන්නෙත් උදේ 06.03 ට. එතකොට ඉරිදා උදේ 06.03 ඉඳලා සඳුදා උදේ 06.02 තත්ත්පර 59 වෙනකල්, ඒ කියන්නේ සඳුදා උදේ ඉර පායනකල් අපි සලකන්නේ ඒක ඉරිදා දවසක් විදිහට. කැලැන්ඩරේ දි කිව්වට 14 වෙනි සඳුදා කියලා පූර්ව භාග 04.04 නිසා ඒක ජ්‍යෝතිෂයට අනුව ඉරිදා. ඉතින් ඉරිදට අයිති වර්ණය තමයි තඹ වර්ණය. තඹ වර්ණය කියන්නේ කහ, රතු මිශ්‍ර වර්ණයට. ඒ නිසා තමයි තඹ වර්ණය නැති කෙනෙකුට කහයි රතුයි මිශ්‍ර වුණ ඇඳුමක් අඳින්න කියන්නේ.
ඒ වගේම තමයි ලිතේ තියෙනවා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභව චාරිත්‍රය. ඒක තියෙන්නේ උදේ 06.44 ට. එතකොට 06.03 පහුවෙලා. ඒ කියන්නේ සඳුදා උදාවෙලා. කළින් ආහාර පිසීමේ දී 14 වෙනි සඳුදා කියලා ගත්තට ඉර පායලා නැහැ. එතකොට අපි ගන්නේ ඉරිදා විදිහට. ඒකයි තඹ වර්ණය. ඊළඟට 06.44 ට ඉර පායලා නිසා ගන්නේ මුතු හා ශ්වේත වර්ණ. මොකද ඒ තමයි සඳුදට අයිති වර්ණ. ඒකයි එකම දවසෙ සුභ වර්ණ දෙකක් දීලා තියෙන්නේ.
මේ වර්ණය සුභ වෙන්නේ කොහොම ද?
අපි ජ්‍යෝතිෂයේ දී අංග පහක් එහෙම නැත්තම් පංචාංගයක් ගැන කතා කරනවා. ඒ අංග තමයි දිනය, නැකත, තිථිය, යෝගය, කරණය. එතකොට මේ පංචාංගයේ පළවෙනි අංගය තමයි දිනය. දිනයට අධිපති ග්‍රහයෙක් ඉන්නවා. ඒකට අපි කියනවා ලග්නාධිපති ග්‍රහයා කියලා. ලග්නාධිපති ග්‍රහයාව ආකර්ෂණය කර ගැනීම, පහදවා ගැනීම කරන්නේ ලග්නාධිපති ග්‍රහයට අධිගෘහිත වර්ණයේ ඇඳුමක් ඇඳීමෙන්. ඒ විදිහට දිනාධිපති ග්‍රහයාව පහදවා ගැනීම තමයි එදාට අයිති සුභ වර්ණය ඇඳීමෙන් කළ හැකි වෙන්නේ. ඒ අනුව ඒ කාර්යට දිනයේ ආශීර්වාදය අපිට ලැබෙනවා. පංචාංගය ඇතුළේ විවිධ දේවල්වල ආශීර්වාදය අපිට ඕනෙ වෙනවා. හැබැයි දිනයේ ආශිර්වාදය, රැකවරණය අපිට ඒ සුභ වර්ණය ඇඳීමෙන් ලබන්න පුළුවන් වෙනවා. ඒ දිනයට අධිගෘහිත කිරණවලට තියෙන බලය වැඩියි.
ජ්‍යෝතිෂය හැදෑරුවත් නැතත් හැමෝම දින ටික වෙන් කරන් ඉන්නේ සතියේ දවස් හතේ ග්‍රහයෝ හත්දෙනාටනේ. එතකොට ජ්‍යෝතිෂය පිළිගත්තා නොපිළිගත්තා එදා දවසෙ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ එදා දවසට අයිති ගුණ ටික. ඒ කියන්නේ ඉරිදා දවසෙ අපේ ඇඟ ඇතුළේ ක්‍රියාත්මක වෙන උෂ්ණ ගතිය, නැත්නම් පොඩි ආත්මාභිමානී ගතිය සඳුදා වෙනකොට සෞම්‍ය ගතියක්, කුජ දිනයේ ලේ ධාතුව ටිකක් වේගවත්ව ගමන් කරනවා. බදාදා දවස ටිකක් අධ්‍යාපන කටයුතුවලට නිරත වෙන්න පුළුවන් කමක් වගේම පොඩි කම්මැළි ගතියක්, බ්‍රහස්පතින්දට පොඩි ආධ්‍යාත්මික ගතියක්, සිකුරාදට ලෞකික දේවල් භුක්ති විඳිමින් සතුටු සාමිචියේ යෙදීමට කැමැත්තක්.
ඔය වගේ ඒ දවස් හතේ ග්‍රහයන්ගේ ඇති ගුණ යම් ප්‍රමාණයකට අපිට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් එන්න පුළුවන් අසුබයක් තියෙනවා නම් ඒ අසුබය මඟ හරවා ගන්න, ග්‍රහයාව පහදවා ගන්න මේ සුබ වර්ණය නිසා අපිට පුළුවන් වෙනවා. කවුරුත් කැමතියිනේ පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න. එතකොට වටේ අයගෙත් හිත පැහැ දෙනවා. නමුත් තද පැහැයක් ඇඳන් ගියොත් අනිත් අය අපි දිහා බලන්නෙත් කේන්තියකින්, වෛරයකින්. ඒ වගේ තමයි ඒ ඒ දවසේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ ඒ ග්‍රහයට අයිති ගුණේ. එදා දවසේ ඒ වර්ණයට තමයි වැඩිපුර ඒ ගුණ අවශෝෂණය වෙන්නේ.
සඳුදට මුතු පැහැ වගේ වර්ණ ඇන්දම සඳුගේ තියෙන සුබ සහ ගුණ ඒ වර්ණයට අවශෝෂණය වෙන්න බලනවා. ඒ සෞම්‍ය ගුණය අපිටත් අවශෝෂණය වෙනවා. එතකොට කාර්ය සිද්ධිය පහසු වෙනවා. ඒ විදිහට සුබ වර්ණය ඇඳීමෙන් ඒ ගුණය වැඩිපුර අපිට අවශෝෂණය කර ගන්න පුළුවන් වෙනවා.
අවුරුදු නැකැත් වර්ණය ඇන්දෙ නැත්තම් අසුබයි ද ?
ඇන්දෙ නැත්තම් අසුබම වෙනවා කියන්නම බැහැ. හැබැයි ඇන්දෙ නැත්තම් අසුබ වෙන්න පුළුවන් තැන් තියෙනවා. උදාහරණයකට ගත්තොත් රවි, ශනි කියන ග්‍රහයො දෙන්නා සදාකාලික තරහකාරයෝ දෙන්නෙක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ සූර්යා සහ සෙනසුරු කියන ග්‍රහයො දෙන්නා හතුරු ග්‍රහයො දෙන්නෙක් කියලා තමයි සලකන්නේ. දැන් ලිප ගිනි මෙලවීම ජ්‍යෝතිෂයට අනුකූලව තියෙන්නේ ඉරිද නේ.
තාම සඳුදා වෙලා නැති නිසානෙ - තඹ වර්ණය අඳින්න කියන්නේ. හැබැයි කවුරුහරි කෙනෙක් එදාට සෙනසුරුට අයිති නිල් පාටට හුරු කළු නිල, පාට නිල, තද නිල වගේ නිල් පාටට හුරු වර්ණයක් ඇන්දොත් එතකොට රවිට තරහ වර්ණයක් තමයි ඇඳලා තියෙන්නේ. එදා දවසෙ අසුබයක් ක්‍රියාත්මක විය හැකි වර්ණයක් ඇඳලා තියෙන්නේ. අනිවාර්‌යයෙන් අසුබ වෙනවා කියනවා නෙවෙයි. හැබැයි අර ලැබෙන සුබ ඵලය අඩු වෙන්න, අසුබ ඵලයක් යම් ආකාරයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තත්ත්වයක් එතනදී තියෙනවා.
කෙනෙක්ට නැකතෙන් හොඳම ප්‍රතිඵලය හම්බවෙන්නත්, තව කෙනෙක්ට නැකතෙන් හොඳ ප්‍රතිඵලය නොලැබෙන්නත්, මධ්‍යස්ථ ප්‍රතිඵලයක් ලැබෙන්නත් මේ සුබ වර්ණය මුල් වෙනවා. නමුත් මතක තියා ගන්න ඕනෙ සුබ වෙන්න බලපාන හේතු කීපයක් අතරින් එක හේතුවක් විතරයි මේ වර්ණය කියන්නේ. මේ වර්ණ ඇතුළෙත් තියෙනවා තරහ වර්ණ. එකකට එකක් භේද වෙනවා කියලා මේකට අපි කියන්නේ. තඹ වර්ණය එක්ක නිල් වර්ණය භේද වෙනවා.
අනිත් පැත්තෙන් කියනවා ජ්‍යෝතිෂයේ දී ගුරුම් ශුක්ලම් සදා වෛරම් කියලා. ඒ කියන්නේ ගුරුයි සිකුරුයි සදා වෛරයි කියන අදහස. එතකොට බ්‍රහස්පතින්දා දවසක කහ හෝ තැඹිලි වගේ වර්ණ නොඇඳ රතු නිල් වගේ වර්ණ ඇඳීම අසුබ වෙනවා. මේ නිසා බලාපොරොත්තු වුණ කාර්ය සිද්ධිය පමා වීම, නොලැබීම, යම් කිසි දුක් කම්කටොලු එකතු වීම, බලාපොරොත්තු වූ සුබදේ නැතිවීම වගේ අසුබ දේවල් යම් ප්‍රමාණයකට මේ සුබ වර්ණය නොඇඳීම හේතු වෙන්න පුළුවන්.
මේ වර්ණයේ සුබ බව එහෙම නැත්තම් අසුබ බව වලංගු වෙන්නේ එදා දවසට විතර ද ? නැත්තම් මුළු අවුරුද්ද පුරාවටම ද?
එදා දවසට පමණයි සාමාන්‍යයෙන් මේ වර්ණවල බලය බල පැවැත් වෙන්නේ. ඒ කියන්නේ ඒ කාර්යය ඒ මොහොතේදී කරන සුබ මොහොත නැත්තම් මුහුර්තයෙ දී තමයි මූලිකව සාර්ථක වෙන්නේ. හැබැයි ජ්‍යෝතිෂය සම්බන්ධ වෙන්නෙ සඳු එහෙම නැත්තම් මනසත් එක්ක. අපි උපන් නැකතෙ ඉඳන් ඔක්කොම කරන්නෙ සඳු මුල් කරගෙන. සඳු ග්‍රහයාගෙන් අපි කතා කරන්නේ අපේ සිත.
අපි මේ ලිප ගිනි මොලවන කොට අධිෂ්ඨාන කරගන්න ඕනේ - සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිශ්ඨ වෙන මේ මොහොත, එහෙම නැත්තම් අපි කියනවා සූර්යා රාශි වළල්ලෙ එක රවුමක් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා ආයෙ අලුතෙන් රාශි වළල්ල පටන් ගන්න අවස්ථාව. ඒ පටන් ගන්න මොහොතෙ අපි අධිෂ්ඨාන කර ගන්නවා, මේ අවුරුද්ද පුරාම අපේ ගෙදර නිරෝගීමත් භාවයක් සහිතව සාර්ථක ආර්ථිකයක් ලැබෙන්න කියලා. එහෙම අධිෂ්ඨාන කරගෙන අපි ලිප පත්තු කළා කියලා හිතමුකො.
අපි කිව්වනෙ නැකත සම්බන්ධ වෙන්නේ හිතත් එක්ක කියලා. එහෙනම් හිතේ තියෙන්නේ මේ වසරම සාර්ථක වෙන්න කියන කාරණාව. එතකොට අන්න එයාගෙ අරමුණ මේ අවුරුද්දම සාර්ථක වෙන්නත් වක්‍රාකාරයෙන් මේක උදව් වෙනවා. සමහර අයට ඒ ගැන ලොකු අදහසක් නැහැ. එදා මොහොත තමයි ඔළුවෙ තියාගෙන ඉන්නේ. එතකොට එයාටත් එදා මොහොත කොහොමත් සාර්ථක වෙනවා.
හැම සූර්යා සංකාන්තියකම දෝෂ තියෙනවා. ඒ සංක්‍රාන්ති දෝෂ අවම කරගෙන යහපත උදාකර ගන්න තමයි ගොඩක් වෙලාවට මේ නැකැත් කටයුතු කරන්නේ. එතකොට එන්න තියෙන අසුබයක් නම් ඊළඟ අවුරුද්දේ මීන රාශියෙන් මේෂ රාශියට එනකල් තියෙන කාලෙටම මේ අසුබය අයින් වෙනවා. සුබ සමහර විට නොලැබුණත් ලැබෙන්න තිබුණ අසුබය අයින් වීම කියන දේත් වක්‍රාකාරයෙන් ගත්තොත් සුබ දෙයක්නේ.
ඒ ඒ දිනවලට සුබ වුණ වර්ණ මොනව ද?
සාමාන්‍යයෙන් සඳුදා දවස ගත්තොත් මුතුවර්ණය, සුදු පැහැ වර්ණය, ඇත්දළ වර්ණය වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. අඟහරුවාදා දවසට රතු පැහැය රතු පැහැයට හුරු වර්ණ භාවිත කරන්න පුළුවන්. බදාදා කෙහෙල් දල්ලේ පැහැය, කොළ වර්ණ, පලා පැහැය කියලා කියනවා මේකට, ගිරවුන්ගේ තියෙන වර්ණය වගේ භාවිත කරන්න පුළුවන්. බ්‍රහස්පතින්දා තැඹිලිවලට හුරු කහ වර්ණය, දුඹුරු, තැඹිලි වර්ණය, සිවුරේ පැහැය භාවිත කළ හැකියි.
සිකුරාදා කියන්නේ වෛවර්ණ නැත්තම් විසිතුරු, විචිත්‍ර වර්ණ කියනවා. රතු, කහ, නිල් වගේ මිශ්‍ර වුණ වර්ණ. සෙනසුරාදට අයිති වෙන්නේ නිල් පැහැ වර්ණය, කළු නිල, තද නිල වගේ වර්ණ භාවිත කරන්න පුළුවන්. ඉරිද දවසට අයිති වෙන්නේ තඹ වර්ණය. තඹ වර්ණය නැත්තම් කහ, රතු, මිශ්‍ර වර්ණ භාවිත කරන්න පුළුවන්. කෙනෙකුට සෙනසුරාදට ඕනෙ නම් කළු වර්ණය අඳින්න පුළුවන් මොකද පාට නිල කියන නිලේ තද ප්‍රභේදයක් කළු කියන්නේ. ඒ නිසා කළුත් යම් ප්‍රමාණයකට අඳින්න පුළුවන්කම තියෙනවා. නමුත් කළු අඳින්නෙ නැතුව ඉන්න තරමට හොඳයි.
ලිතේ සඳහන් වෙන පරිදි අවුරුද්දට මේ සුබ වර්ණ තෝරන්නේ කවුද ?
සාමාන්‍යයෙන් රජයේ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතුව තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. ඒක යටතේ පොහොය කමිටුව සහ රාජ්‍ය නැකත් කමිටුව. මේ දෙකේ සම්මිශ්‍රයෙන් තමයි බොහෝ විට ලිත හැදෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් රාජ්‍ය නැකත් කමිටුවකට අනිවාර්යයි ලිත් කර්තෘවරු. සාමාන්‍යයෙන් රටේ පිළිගත් ලිත් කර්තෘවරු හය දෙනෙක් පමණ ඉන්නවා. ඒ ලිත් කර්තෘවරු හය දෙනාම මේ කටයුත්තට අනිවාර්‌යයෙන් ඉන්නවා.
මොකද නැත්තම් හය දෙනා ලිත් හයක් ගහනවනේ. ලිත් කර්තෘවරුන් සහිතව රාජ්‍ය නැකත් කමිටුව තමයි මේක සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට කරගෙන ගියේ. නමුත් ගිය අවුරුද්දේ රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැරියට පස්සෙ දැනට රාජ්‍ය නැකත් කමිටුවක් පත් කරලා නැහැ. ඒ නිසා පොහොය කමිටුව සහ ලිත් කර්තෘවරු එකතු වෙලා රජයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතුව තමයි මේ වැඩේ කරන්නේ. ඒ අය තමයි මේ ලිත හදන්නේ. සුබ වර්ණය, නැකත් තෝරන්නේ.
ඒ අනුව ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දෙ නැකතට සුබ වර්ණය ඇඳීමෙන් සුබ ඵල ළඟා කර ගැනීමටත් අසුබ ඵල දුරු කර ගැනීමටත් හැකියාව ඇති බව කියැවෙනවා. එසේම ඔබට වෙන සියලු සුබ, අසුබ දේ ඔබ අඳින පලඳින වර්ණය නිසා සිදු නොවන බව බුද්ධිමත් පාඨකයන් ලෙසින් නුවණින් වටහා ගනු ඇතැයි සිතමි.
කෞශල්‍යා ලක්ෂානි
දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත්
“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත
මෙම අප්‍රේල් මස දාහතර වැනි සඳුදා දින උදාවන නව වසරේ මැයි මස තුළ ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සිදුවෙයි. මැයි 14 දින ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර, මැ
එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්න
සිංහල අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්
සිංහල දමිළ අලුත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කර
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අලුත් අවුරුදු සුබ වර්ණයන් ඇන්දොත් අවුරුද්දම සුබ වෙනවද?