IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම


(පසුගිය සතියේ ඉතිරිය)
අවසන් ඡායාරූපය බිරිඳට දී සමුගත් විරුවා - අවසන් කොටස

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය. ඊට පෙර නිවාඩු වාරවලදී ද ඔහුව එක් දිනයක් හෝ වැඩිපුර නිවසේ රඳවා ගැනීමට ඈ දැරූ උත්සාහයන් අපතේ ගිය අයුරු ඇයට මතකය. මෙලෙස සැරයන් නිමල් නිවසේ සිට තම බඩු සූදානම් කරන අතරේ, කුරුණෑගල වජිරඥාන දහම්පාසලට තම පුතා ඇරලවීම සඳහා දීපා තම ඥාති නැගණියක ද සමග පිටත්වූහ. වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් දහම් පාසලේ සිට දීපා එකඑල්ලේම නගරයේ බස් නැවතුමට පැමිණියේ නිවාඩුවේ අවසන් අවස්ථාවේ ද සැමියා මොහොතකට හෝ දකිනු රිසියෙනි. ඒ වනවිටත් සැරයන් නිමල් තම ගමන් මල්ල ද රැගෙන එහි පැමිණ තිබූ අතර, සෑම නිවාඩු වාරයකදීම බස්රථය පිටත්වන තෙක්ම ඔවුනොවුන් එලෙස ගත කිරීම පුරුද්දක්ව තිබුණි. 

ඒ වනවිටත් එහි සූදානම්ව තිබූ බස් රථයේ ඉදිරි පෙළ අසුනක කෙළවරේ වාඩිවූ නිමල් තම බිරිඳ දීපාගෙන් සමුගත්තේ ආයාසයෙන් මවාගත් සිනහවකින් යුතුවය. කෙසේ වුවද, තම සැමියා නික්මයන අවසන් මොහොතේ නිවසේ දී ඡායාරූපයක් පෙන්වමින් පැවසූ දේ පිළිබඳව දීපාගේ සිත බෙහෙවින් පෑරී තිබිණ. ඕ බස් නැවතුමේම මඳක් නතරව තිතක්වී නොපෙනී යන සැමියා රැගත් බස්රථය දෙස කඳුළු පිරි දෙනෙතින් බලාසිටින්නට වූයේ වෙනදා නොතිබූ දෙගිඩියාවකිනි.

එලෙස ස්වාමියාගේ නික්මයාමත් සමග නිවසේ ඇතිවන හුදෙකලා බව දීපාට අරුමයක් නොවූවද, මෙවර ඈ සිත වෙනදාට වඩා බෙහෙවින් රිදුම් දෙන්නට විය. කුමක්දෝ කියාගත නොහැකි යමක් ඈ තුළ සිරවී ඇති සෙයකි. කෙසේ හෝ සති කිහිපයක ඇවෑමෙන් සුපුරුදු ලෙසම සැමියාගෙන් ලිපියක් ලැබිණ. ප්‍රමාද වුවද, එය ඔහු යහතින් කඳවුරට ගිය බවට දීපා ලද පළමු දැනුවත්වීම විය. ඒ වනවිට ඇය සිය දෙවෙනි දරුවා ප්‍රසූතියට සූදානම්ව සිටි බැවින්, ඔහුගේ එම ලිපිය ඇයට පරෙස්සම් වීම සඳහා වූ උපදෙස් මාලාවක් බඳුවිය. “පුළුවන් තරම් ගමන් යන එක අඩු කරන්න. පුතා දහම් පාසල් යවන එකත් වෙන කා එක්ක හරි යවන්න. ඔයා වැඩිපුර මහන්සි නොවී ඉන්න දීපා.” එම ලිපිය පුරාම ඔහුගේ වදන් එලෙස විය. ක්‍රියාන්විතයේ ගතකළ ද, සැරයන් නිමල් සෑම වසරකම ජනවාරි මස 01 වන දින ද අප්‍රේල් අලුත් අවුරුදු සමයේ ද, ඔක්තෝබර් මස 06 වන දිනට යෙදෙන තම පුතුගේ උපන් දිනයේ ද, නොවරදවාම නිවසට පැමිණියේය. වෙනත් බොහෝ අවස්ථා කැපකරමින් ඔහු එම දිනවල නිවාඩු ලබාගැනීම පුරුද්දක් ලෙස සිදුකොට තිබුණි. නමුත්, මෙවර පුතුගේ උපන් දිනයට එලෙස පැමිණීමේ ඉඩක් නොවුණු තත්ත්වයක් පැවති හෙයින්, ඔහු ඒ බව එම ලිපිය තුළින්ම දීපාට දැනුම් දී තිබිණ. දීපාගේ බාල සහෝදරයා ද ඒ වනවිට සේවය කරන ලද්දේ යුද හමුදාවේමය. පුතුගේ උපන්දින සමයේ ඔහුගේ නිවාඩු වාරය යෙදී ඇති බව දැනසිටි සැරයන් නිමල්, බිරිඳ දීපාට දන්වා සිටියේ - තමා නැතිවුවද තම පුතුගේ උපන් දින සැමරුම මල්ලී සමග එකතුව අඩුපාඩුවක් නොවන ලෙස සිදුකරන ලෙසය.

සැරයන් නිමල් ආනන්ද (වම්පස) ක්‍රියාන්විත බිමෙහිදී


මෙලෙස දින කිහිපයක් ගෙවී යද්දී සැමියා නොමැතිව වුවද දීපා පුතුගේ උපන්දිනය වෙනුවෙන් සුපුරුදු ලෙස නිවසේ කටයුතු සූදානම් කරන්නට වූයේ, තම මල්ලීගේ පැමිණීම ද අපේක්‍ෂාවෙනි. දිනක් උදෑසනින්ම තම පුතු ද සමගින් කුරුණෑගල නගරයට ගිය ඇය - තමා සතු කැමරාව සඳහා ෆිල්ම් රෝලක් ද මිලදී ගත්තේ, පුතුගේ උපන්දින සැමරුම් අවස්ථා සැමියා පැමිණි දිනක පෙන්වීමේ අටියෙනි. නමුත්, ෆිල්ම් රෝල මිලදී ගත්ත ද ඈ කිසියම් දෙගිඩියාවකින් පෙළෙන්නට වූ අතර, ඈගේ යටිසිත බලකරන්නට වූයේ උපන්දින සැමරුම සිතූ අයුරින් සිදුකරන්නට නොහැකිවනු ඇති බවය. අවසානයේ ඕ යළි තමා මිලදීගත් ෆිල්ම් රෝල එහිම තබා මුදල් රැගෙන යාමට කටයුතු කරනු ලැබුවාය. 

ඒ වනවිට සැරයන් නිමල් කැබිතිගොල්ලෑවේ පිහිටි කඳවුරක ඛණ්ඩභාර සැරයන්වරයකු ලෙස සේවයේ නිරතව සිටියේය.  1995 ඔක්තෝබර් මස 11 වන දින ඔහු නිවාඩු ලබා නිවසට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවූයේ, තම පුතුගේ උපන්දිනය පසුවී දින කිහිපයක් ඉක්ම තිබූ පසුබිමකය. කෙසේ නමුත්, ඊට පෙරදින සිය අවසන් රාජකාරිය ලෙස ඔහු සුපුරුදු මාර්ග ආරක්‍ෂක මුරයේ නිරත වන්නට සූදානම් වෙද්දී- එහි සිටි සැරයන් දිසානායක ඔහුට පවසා සිටියේ, පසුදින නිවාඩු යාමට සිටින බැවින් එදින ක්‍රියාන්විතයට එක් නොවන ලෙසය. නමුත්, ඊට නොකැමති වූ සැරයන් නිමල් තම භටපිරිස සමග ක්‍රියාන්විතයට එක්වූයේ, රාජකාරිය වෙනුවෙන් ඔහුගේ කැපවීමේ තරම පෙන්වමිනි. ඒ අනුව 1995 ඔක්තෝබර් මස 10 වන දින පෙරවරු 0900 ට ආසන්න වෙද්දී ඔහු 11 දෙනකුගෙන් යුත් භටපිරිසක් සමග ප්‍රදේශයේ මාර්ග සෝදිසි කිරීමේ ක්‍රියාන්විතයට සහභාගි විය. ඔවුන් ගමන්ගත් මාර්ගය දෙපස ඒ වනවිට කම්කරුවන් කිහිප දෙනකු විදුලි කණු සහ වයර් මත වැටී තිබූ ගස්, අතු හා කැලෑ රොදවල් ඉවත් කරමින් සිටිනු පෙණිනි. නමුත්, සිදුවූයේ අනපේක්‍ෂිත දෙයකි. එනම්, එම සිවිල් පුද්ගලයින් අතර හිඳිමින් ප්‍රදේශයේ සැඟව සිටි ත්‍රස්ත පිරිසක් එක්වරම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට වූයේ සැරයන් නිමල් ඇතුළු පිරිසට කිසිදු අවස්ථාවක් නොතබාය. මාර්ගයේ වැඩකළ සිවිල් කම්කරුවන් ඒ අවට රැඳී සිටීම නිසාම, හමුදා භටයින්ට නිදහසේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව ඇහිරී ගියෙන්, එහි උපරිම වාසිය ලබාගන්නට ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාකරන ලදී. අවසානයේ විනාඩි ගණනක් තුළ එම සටන නිමා වෙද්දී- සැරයන් නිමල් ඇතුළු සැලකිය යුතු පිරිසකට දිවි අහිමි වී තිබිණ.

තම පියාගේ දේහය අසල වැඩිමහල් පුතු


මේ අතර 1995 ඔක්තෝබර් මස 10 වන දින දීපාගේ මව තම දියණියන් දෙදෙනා බැලීම සඳහා එහි පැමිණ සිටි අතර, ඒ වනවිට දීපා හා නැඟණිය පදිංචිව සිටියේ එකම වත්තේ නිවාස දෙකකය. එහිදී, දීපාගේ නිවසට පැමිණි මව කියා සිටියේ ඇය සමග මල්ලී ද එහි පැමිණ ඇති බවකි. තම බාල සහෝදරයා ද නැඟණියගේ නිවසට පැමිණ ඇති බව දැනගත් සැණින්, දීපා තුළ ඇතිවූයේ සතුටකි. යුද හමුදාවේම සේවය කළ අයකු වූ ඔහු නතරව සිටියේ මහගෙදරය. එනිසාම එකිනෙකා මුණගැසීම සිදුවූයේ ඉතා විරලවය. එබැවින්  කලෙකින් තම සහෝදරයා දැකගැනීමේ නොතිත් ආසාවෙන් පසු වූ දීපා කඩිනමින් යාබද නැඟණියගේ නිවසට පිටත් වූවාය. නමුත්, එහිදී වෙනදා නොමැති ලෙස පිරිසක් තම නිවසට යන මාර්ගයේ රොක්වී සිටිනු දැකීම ඈ පුදුම කරවීය. අවට නිවෙස්වල දන්නා හඳුනන පිරිසක් එලෙස තම නිවස ආසන්නයෙන් බොහෝ නොඉවසිලිලෙන් පසුවනු දැකීම දීපා තුළ ඇතිකළේ  කුතුහලයකි.

සැරයන් නිමල් ආනන්ද


 

එසේම, ඈ දුටුවේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද මිදුලේ තම සහෝදරයා හා කතාබස් කරමින් සිටින අයුරකි.  දීපා වහා ඉන් එක් පොලිස් නිලධාරියකුගෙන් එලෙස ඔවුන් පැමිණීම පිළිබඳ  විමසා සිටි අතර, එහිදී ඔහු නිවසේ ජනේලයට පිට දී බලාසිටියා මිස පැහැදිලි පිළිතුරක් නොදුන්නේය. තම සහෝදරයා සමග දීපාගේ මව ද ඒ වනවිට එහි පැමිණ සිටියාය. ඒ සමගම නිවස තුළට පිවිසි දීපා දුටුවේ, තවත් අසල්වාසී කාන්තාවන් කිහිපදෙනෙක් ද ඊට ඇතුල්වන අයුරුය.

නිවස තුළ සිටින බොහෝ දෙනකුගේ අවධානය තමා වෙතම එල්ලවී ඇති පසුබිමක, කුමක්හෝ අමුත්තක් දීපාට දැනෙන්නට විය. ඇය පසෙක ජනේලයට පිටදී සිටි පොලිස් නිලධාරියා හමුවේ යළිත් කරුණු විමසා සිටියාය. “ඔයාගෙ මහත්තයට පොඩි තුවාලයක් වෙලා අනුරාධපුර හොස්පිට්ල් එකට ගෙනත් තියෙනවා කලබල වෙන්න තරම් දෙයක් නැහැ; අපි මේ පණිවිඩය කියල යන්නයි ආවේ” එහිදී, ඈට අසන්නට ලැබුණු හද කම්පා කරවන අනපේක්ෂිත පුවත හේතුවෙන් ඕ එක්වරම එහි වාඩිවී සිටි ඇඳ මත ක්ලාන්තව ඇදවැටුණාය. මඳ වේලාවකින් පියවි සිහිය ලද දීපා ඇතිවූ කම්පනය හමුවේ විලාප දෙන්නට වූවාය. ඒ සමගම අවට තවත් පිරිස් එහි එක්වන්නට වූ අතර, තමා දැනගත් දේට වඩා බරපතළ සිදුවීමක් එහි සිටියවුන් තමා හමුවේ සඟවන්නට උත්සාහ කරන බවක් ඇයට පැහැදිළි විය. එහිදී, දීපාව අස්වසමින් ඇයව ඇයගේ නිවසට ඇරලවන අතරේ, බාල සහෝදරයා ඇතුළු කිහිප දෙනෙක් පොලිස් නිලධාරීන් සමඟ අනුරාධපුර රෝහල කරා පිටත්ව ගියහ.

මෙලෙස එදින ඇඳිරි වැටෙද්දී දීපාගේ නිවසට බොහෝ පිරිසක් පැමිණෙන්නට වූ අතර, යළි පැමිණි රෝහල කරා ගිය පිරිසගේ මුහුණු තුළ ද ඉකිබිඳුම් හැර අන් යමක් සටහන්ව නොතිබිණ. අදහාගත නොහැකි වුවද, අකමැත්තෙන් වුවද, සිදුව ඇති දේ පිළිබඳ දීපා හට අවබෝධ වත්ම ඇය යළිත් වරක් සිහිසුන්ව ඇද වැටුණාය. දරුවකු ද කුසෙහි දරා සිටි දීපා එලෙස ඇද වැටීම ඇයගේ කුසට ද දැනෙන තරම් විය. එහිදී, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වහා එහි ගෙන්වා, ඇයට ප්‍රතිකාර ලබාදීමට පවා නිවැසියෝ කටයුතු කළහ. මෙලෙස රාත්‍රිය වෙද්දී හමුදා සාමාජිකයින් පිරිසක් සමග මියගිය සැරයන් නිමල්ගේ සිරුර එහි රැගෙන ඒමට කටයුතු කරන ලද්දේ- අදහාගත නොහැකි වූ සිදුවීම් මාලාවක් යථාර්ථයක් බවට පත්කරවමිනි. අවසානයේ ඊට දින කිහිපයක ඇවෑමෙන් එනම් 1995 ඔක්තෝබර් මස 14 වන දින කුරුණෑගල, රත්ගල්ල පොදු සුසාන භූමියේ දී සැරයන් නිමල්ගේ සිරුර මිහිදන් කෙරුණේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේය. 

දීපා චාන්දනී සිය සැමියාගේ අවසන්

ඡායාරූපය  සමග

මෙලෙස කඳුළු සෝසුසුම් මැද දීපාගේ දිවිය ගෙවී යද්දී - 1995 දෙසැම්බර් මස 17 වන දින ඈ සිය දෙවැනි දරු ප්‍රසූතිය සිදුකරමින් පියාගේ සෙනෙහස ලැබීමට වරම් නොමැති පුතෙකු බිහිකළාය. ඊට සති කිහිපයක ඇවෑමෙන් එනම්, 1995 ජනවාරි මස 10 වන දින ඇය සිය සැමියාගේ තුන්මස දානය පවත්වන ලද්දේ, තම දරු දෙදෙනා ද තුරුළු කරගනිමිනි. එතැන් පටන් සෑම විරු බිරිඳකටම මුහුණ දෙන්නට සිදුවූ ආර්ථික, සමාජයීය ගැටලු ඈට ද එකලෙස එල්ල විය. තවත් කලක් යද්දී තම ස්වාමියාගේ පාර්ශ්වය සමග පැවති සබඳතා සීමාවෙද්දී සිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇය වටා යෝධ පවුරක් සේ බැඳුණේ ඈව කිසිවිට තනි නොකරමිනි. අද වනවිට 61 හැවිරිදි වියේ පසුවන දීපාගේ දරු දෙදෙනා විවාහකයින් ලෙස 36 හා 29 හැවිරිදි වියේ පසුවෙති. දැවීම් තැවීම් පිරි සිය දිවියේ සවි නොසිඳි වීර්යයෙන් පිරි අතීත ගමන දෙස වර්තමානයේ හිඳ ඈ බලනුයේ උපේක්ෂා සහගතවය. එසේම, අදට ද නිවසේ බිත්තියේ කොණක එල්ලා ඇති සිය සැමියාගේ අවසන් ඡායාරූපය සදාකාලිකව ඇයගේ තනි මකන්නේ ය. 

නිමි

 



අදහස් (0)

අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 18 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 28 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 64 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 47 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 34 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site