“වනදිවි සරණිය” ඡායාරූප ප්‍රදර්ශනය සහ “කඳුළින් නොසේදුණු මතකය” ග්‍රන්ථය ජනගත කිරීම 28 වැනිදා අම්පාරේ දී |
දිගාමඬුල්ලේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන වසන්ත චන්ද්‍රපාල ගේ “වනදිවි සරණිය” ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භය සහ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් අළලා ලියැවුණු “කඳුළින් නොසේදුණු මතකය” නම් වූ ග්‍රන්ථය ජනගත කිරීම මෙම 28 වෙනි දින පස්වරු 2.00 ට අම්පාර නගර ශාලාවේ දී සිදුකෙරේ.
වර්ෂ 1987 දී ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි වසන්ත චන්ද්‍රපාල ගේ ජනමාධ්‍ය දිවියට වසර 35 සපිරෙන අතර, “කඳුළින් නොසේදුණු මතකය” ඔහු විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථයයි. එසේම “වන දිවි සරණිය” ඡායාරූප ප්‍රදර්ශනය ඔහුගේ සිව්වෙනි ඡායාරූප ප්‍රදර්ශනයයි. මීට පෙර කඳුළු, වියපත් විය සහ සිත් සළ රළ රූ ලෙසින් ප්‍රදර්ශන 03ක් ඔහු විසින් පවත්වා ඇත.
අම්පාර දමන මහා විද්‍යාලයෙන් සහ එවක ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු - පාසල් අධ්‍යාපනයෙන් පසුව සර්වෝදය සංවිධානයට එක්ව දිස්ත්‍රික්කය පුරා සේවා කටයුතුවලට සම්බන්ධ විය. සර්වෝදයේ කැපී පෙනෙන නියමුවකු ලෙස කටයුතු කරන අතරේ, ඡායාරූප ශිල්පයට ද යොමු විය. ඉන් පසුව ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.
මේ අතරවාරයේ පත්තර කලාවට ද නිරායාසයෙන්ම සිත් යොමු වූ නිසා දිනමිණ, දවස, දිවයින පුවත්පත්වලට ඉල්ලුම් පත් යොමු කළ අතර, 1987 දී දිනමිණ දමන සමූහ වාර්තාකරු ලෙස කටයුතු කරන්නට චන්ද්‍රපාලට අවස්ථාව ලැබුණි. එවක එහි කර්තෘ ජී.එස්. පෙරේරා ඒ අවස්ථාව සලසා දුන්නේය.
තාක්ෂණික මෙවලම් හෝ දියුණු සන්නිවේදන තාක්‍ෂණික ක්‍රම නොතිබූ අසීරු කාලයක චන්ද්‍රපාල සිය පෑන සහ කැමරාව මෙහෙයවමින් කොළඹින් කිලෝමීටර් 350 ක් පමණ දුරින් සිට ජනතාවට තොරතුරු ලබා දීමේ සංග්‍රාමය කළේය. 1987 න් පසුව ක්‍රමයෙන් උත්සන්න වූ කොටි ත්‍රස්තවාදයත් සමග යුද ගැටුම් පවතින පෙදෙස්වලට පවා ගොස් අවදානම් සහිතව වුවද කොළඹට නොකඩවාම ප්‍රවෘත්ති සැපයීම සිදු කළේය.
දිනමිණේ සේවය කිරීමෙන් පසුව කොළඹ දී අහම්බයකින් හමු වූ ලංකාදීපයේ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරිය ගේ සහයෝගයෙන් කර්තෘ සිරි රණසිංහයන් මුණගැසීමට හැකි විය. එතැන් පටන් ලංකාදීපයේ සේවය කරන්නට ඔහුට අවස්ථාව සැලසුණි. ප්‍රාදේශීය පුවත්පත් කලාවේ පූර්ණකාලීනයෙකු ලෙස දශක තුනකට අධික කාලයක් ක්ෂේත්‍රයේ අඛණ්ඩව රැඳී සිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා හැකියාව, කැපවීම මෙන්ම ඉවසීම ද යාවත්කාලීනවීම ද අවශ්‍යම කාරණයකි.
දශක තුනකට අධික පත්තර සහ ඡායාරූප කලාවේ තතු සහ අත්දැකීම් අපි ඔහුගෙන් විමසුවෙමු.
“ඇත්තෙන්ම මම ඡායාරූප ශිල්පියෙක් විදියටත්, ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදියටත් මේ ආව ගමන සුන්දර එකක් නෙවෙයි. අතින් ලියලා තැපෑලෙන් නිව්ස් එකක් යවන කාලේ ඉඳලා මෑතක් වෙනතුරුම තිබුණේ අසීරුතා. ඒ කාලේ පත්තරේට හදිසි පින්තූරයක් යවන්න ඕන වුණොත්, ෆිල්ම් රෝල් එක අරන් කොළඹ යන්න ඕන. එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා.”
“කොටි සංවිධානය විසින් අම්පාර දිස්ත්‍රික්කය තුළ මුලින්ම සිදු කරන ලද සමූහ මිනිස් ඝාතනය තමයි දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහානාගපුර සිදුකළේ. ඒ 1987 පෙබරවාරි 03 මධ්‍යම රාත්‍රියේ . හරියටම නිදහස් දිනයට එළිවෙන දවසේ . එවැනි සිද්ධියකට මුහුණ දුන් පළමු අවස්ථාව නිසා ඉතාමත් නින්දිත සහ අමානුෂික ලෙස ඝාතනය කර තිබූ ඒ සිරුරු දෙස එක එල්ලේ බැලීම හෝ ඡායාරූප ගැනීම මට ඉතා අසීරු කාරණයක් වුණා. කොහොම නමුත් මම ඒ කාර්යය ඉටු කරගෙන ෆිල්ම් රෝල් කීපයත් අරන් කොළඹ ගියා. 06 වෙනිදා වෙන කොට නැවතත් මම අම්පාරට ආවා . ඇත්තෙන්ම මේ ගමන් හරිම වෙහෙසකරයි. අද වගේ ප්‍රවාහන පහසුකම් නෑ. හොඳ මාර්ග පද්ධතියක් තිබුණේ නෑ. මම ඇවිත් අම්පාර සර්වෝදය මූලස්ථානයේ නිදාගෙන ඉන්නකොට අලුයම දුරකථනය නාදවෙනවා. ඒ කතා කළේ මංගලගම උපතැපැල් හලෙන්. කවුරු හරි එතනින් කතා කරලා කිව්වා අරන්තලාවේ ගමට කොටි පැනලා ගමේ 28 දෙනෙක් කපලා කොටලා මරලා කියලා. මම වහාම අදාළ අංශ දැනුවත් කරලා අරන්තලාවට ගියා. ඒ අවුරුද්දෙම ජුනි 02 අරන්තලාවේ දී හාමුදුරුවරු 31 ක් ඝාතනය කළා. ඉතින් ඒකත් ආවරණය කළා. අපිත් මේ හැම ගමනක්ම ගියේ අවදානම කරේ තියාගෙන. අනික අද වගේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. කොළඹට යනකොට ආරක්‍ෂක අංශ චෙක් පොයින්ට් හත අටකට වැඩි ප්‍රමාණයක දී බසයෙන් නගිමින් බසිමින් පරික්‍ෂාවට භාජනය වෙලා තමයි යන්න වෙන්නෙ”.
“ඒ කාලේ සාමාන්‍ය ප්‍රවෘත්තිවලටත් වඩා බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබුණේ යුදමය ප්‍රවෘත්ති දෙසට. මගේ ජීවිතයේ මට කවමදාවත් අමතක නොවෙන තවත් එක් සිද්ධියක් තමයි කොටින්ට යටත් වූ නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ක් පමණ ප්‍රමාණයකින් දෙසිය ගණනකට අධික පිරිසක් තිරික්කෝවිල් රූපස්කුලම් ඝන වනාන්තරයේ ඝාතනය කර තිබූ ස්ථානයට යන්නට හැකිවීම. 1990 ජුනි 11 තමයි ඒ අයව ඝාතනය කළේ. දින 07 කට පමණ පසුව එම ස්ථානය පැහැදිලිව සොයාගෙන තිබුණා.” “ඒ අනුව අම්පාර විද්‍යානන්ද පරිවේණාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් - එවක සහකාර පොලිස් අධිකාරි රවී විජේගුණවර්ධන, එස්.ටී.එෆ්. එකේ තිස්ස කරුණාරත්න, නිර්මාල් මෙන්ඩිස් පියතුමන් ඇතුළු පිරිසක් මේ මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් පාංශුකූලය දෙන්න යනවිට වෙනත් ගමනක් ගොස් එමින් සිටි එවක දිසාපති ජී. මුදන්නායක, සමාජ සේවා සහකාර අධ්‍යක්‍ෂිකා මල්කාන්ති ජයම්පති, ඇයගේ සැමියා වන දමන ප්‍රාදේශීය ලේකම් එල් .පී. ජයම්පති සහ මටත් මෙතැනට යන්නට අවස්ථාව සැලසුණා. ජනමාධ්‍යවේදියෙක් එම ස්ථානයට ගිය පළමු අවස්ථාව මෙයයි. පොලිස් සහ එස්.ටී .එෆ් ආරක්‍ෂක වළලු මැදින් කිලෝමීටර් දෙකකට වඩා පා ගමනින් අපට යන්නට සිදුවුණා. ඒ ස්ථානයට ගියාම හිතට දැනුණේ දරාගන්න බැරි තරමේ වේදනාවක් . අත් පා බැඳ මුණින් හරවා හිසට වෙඩි තබා ඝාතනය කළ නිලධාරීන්ගේ සිරුරුවලට ගිනි තබා කලබලේට වළ දමා තිබුණත්, සමහර සිරුරු කොටස් මතුපිට තිබුණා. මම කුඩා ලී කැබැල්ලකින් ඒ ස්ථාන පාදන විට ඒ නිලධාරීන්ගේ නිල ලාංඡන අංක තහඩු මතු වුණා.”
“ඒ වගේම මහඔය බෝගමුයාය, බණ්ඩාරදූව ඇතුළු බොහෝ සමූහ ඝාතන පිළිබඳව ආවරණය කළා. නිරන්තරවම යුද ගැටුම් මධ්‍යයේ තමා අපට වාර්තාකරණයන් කරන්න සිදුවුණේ. 2000 වසරේ සිට බී.බී.සී. ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. ඒ වසරේ රනිල් - ප්‍රභා සාම ගිවිසුමෙන් පසුව කිසිදු නිල අවසරයකින් තොරව මඩකලපුව කොක්අඩිචෝලේ කොටි පාලන ප්‍රදේශයට ගිහින් කොටින් ගේ රැවුම් ගෙරවුම් මැද පණ බේරාගෙන ආපසු ආව ගමන කවමදාවත් මට අමතක වෙන්නේ නෑ. එදා කොටි නායක කරිකාලන් අපිව මගහැරියා. විශේෂයෙන් ඒ ගමනට ලංකාදීපයේ සමන් දිසානායක, සමන් මාණික්කආරච්චි, ජාතික රූපවාහිනියේ තිලක් අලහකෝන් සහ දි අයිලන්ඩ් හි රෂීඩ් යන අයත් සහභාගි වුණා. අපි තව සුළු මොහොතක් පමාවෙලා ආපසු ආවනම් අපේ ජීවිතවලට මොනව වෙයිද කියලා
හිතාගන්නත් බෑ.”
“මෑතකදී මම වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ පළමු මාධ්‍ය ලේකම් විදිහට වසර තුනක් විතර වැඩ කළා. මේ ගමන මෙතරම් දුරක් එන්න මට ගොඩාක් දෙනෙක් උදව් වුණා. සර්වෝදයේ ඒ.ටී. ආරියරත්න, ලංකාදීපයේ සිරි රණසිංහ, ඇලෙක්සැන්ඩර් බාලසූරිය, ඒ වගේම මොහාන් සමරනායක, වදාකඩ නවරත්න වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් ඇතුළු සැමටත් - අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර, දමන ප්‍රාදේශීය ලේකම් එල්.පී. ජයම්පති යන මහත්වරුන් ඇතුළු සැමටත්, ආරක්‍ෂක අංශ නිලධාරීන්ටත්, අම්පාරේ සහෝදර මාධ්‍යවේදීන්ටත්, මම හද පිරි ස්තූතිය පිරිනමන අතරම, මේ මාසේ 28 වෙනිදා සවස 2.00 ට සමාරම්භක උත්සවයෙන් ආරම්භ කරලා 29, 30, 31 යන දිනයන්හි දී උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නැයි ඉතා ආදරයෙන් බොහොම ලෙංගතුව ආරාධනා කරනවා.”
දිගාමඬුල්ල
සමන් දිසානායක
විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.
වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.
දිගාමඬුල්ලේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන වසන්ත චන්ද්‍රපාල ගේ “වනදිවි සරණිය” ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භය සහ ඔහුගේ මාධ්‍ය ජීවි
මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචනා කරන ලද “කතුවැකි විමර්ශන” හා “රෝසමල් කුමාරයා” නමැති කෘති ද්විත්වය පසුගියදා කොළඹ දී එළිදැක්විණි.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසූ මහා ළැව්ගින්න - 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව්ගින්නෙන් සිදුවුණු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඒ කාලේ හදිසි පින්තුරයක් පත්තරේට ඕනෑ වුණොත් ෆිල්ම් රෝල් එක අරන් කොළඹ යන්න ඕනැ - ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත චන්ද්‍රපාල 35 වසරක මාධ්‍ය මතකය අවදිකරයි