IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


කැලඹුණු ලොස් ඇන්ජලීස් “ දේව දරුවා ”

සති දෙකක් තිස්සේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ළැව්ගිනි පැතිරෙයි. ජීවිත බිලි ගනිමින්, නිවාස සහ දේපළ වනසමින්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි කරමින්, ළැව් ගිනි පැතිරීම ආරම්භ වූයේ පසුගිය ජනවාරි 7 වැනිදාය. ඇමෙරිකා එක්සත් ජනපදය, 2025 වසරට පා තැබුවේ, ප්‍රචණ්ඩ හිම කුණාටුවක බලපෑම් ද සමඟය. සාමාන්‍යයෙන් දෙසැම්බර් අවසානය සහ ජනවාරි ආරම්භය යනු ඇමෙරිකාවට ශීත කාලයයි. ජනවාරි පළමු වැනිදා වනවිට නැගෙනහිර සහ මධ්‍යම ඇමෙරිකා ජනපද හරහා හමා යන්නට වූ හිම කුණාටුව, එම ජනපදවල වැසියන් අසීරුවට පත් කර දැමීය. ගමනාගමනය මුළුමනින්ම අඩපණ විය. ලක්ෂ ගණනක් ඇමෙරිකානුවෝ දැඩි ලෙස පීඩාවට පත් වූහ. ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය අයත් කැලිෆෝනියා ජනපදය ඇත්තේ, ඇමෙරිකාවේ බටහිර දෙසිනි. නැගෙනහිර සහ මධ්‍යම ඇමෙරිකා ජනපද දැඩි ශීත කාලගුණයකින් බැට කද්දී, බටහිර දෙසින් පිහිටි කැලිෆෝනියාව කැලැඹුවේ දැඩි වියළි කාලගුණයකි. එම වියළි කාලගුණය ළැව් ගිනි හට ගැනීමටත් ඒවා ව්‍යාප්ත කිරීමටත් සමත් වූ අතර, ගිනි නිවන භටයන්ට ළැව් ගිනි පාලනය කිරීම පවා අසීරු විය. 

මුළු ලෝකයේම අවධානය දිනාගත් ලොස් ඇන්ජලීස් ළැව්ගිනි පසුපස කාලගුණ සහ දේශගුණික විපර්යාසවල බලපෑමක් තියෙනවාද? ‍

මෙය බොහෝ දෙනකුට ගැටලු‍වකි. ඒත් බටහිර විද්‍යාඥයන්ට අනුව එහි විශේෂ බලපෑමක් ඇත. කාලගුණය සහ දේශගුණය යනු කුමක්ද? කාලගුණය සහ දේශගුණය අතරේ සම්බන්ධයක් ඇති නමුත්, ඒවායින් නිරූපණය වන්නේ අර්ථ දෙකකි. කාලගුණය යනු කෙටි කාලසීමාවක, පැය කීපයක් හෝ දින කීපයක් ඇතුළත වායුගෝලය හැසිරෙන ආකාරයයි. දේශගුණය යනු දිගු කාලීනව, මාස ගණනක් හෝ අවුරුදු ගණනක් තිස්සේ පරිසරයේ පවතින වෙනස්වීම්ය.

විද්‍යාඥයන්ට අනුව, පෘථිවිය දිනෙන් දින වාර්තා පිහිටුවමින් උණුසුම් වෙයි. යුරෝපා සංගමයට අයත්, කොපනිකස් දේශගුණ විපර්යාස අධ්‍යයන අංශය පෙන්වා දෙන අන්දමට 2024 වර්ෂය ඉතාමත් උෂ්ණාධික වර්ෂයක් විය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින්, එනම් පූර්ව කාර්මික මට්ටම ඉක්මවා ඉහළ ගියේය. 2024 පුරාම මෙම තත්වය පැවැතීම ද වාර්තාවකි. පෘථිවියේ ගෝලීය උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම, මනුෂ්‍ය අපට මෙතෙක් ඉතිහාසයේ කිසි විටෙකත් අත්විඳින්නට සිදුවූවක් නොවන බව විද්‍යාඥයෝ කියති. කැලිෆෝනියාවේ ළැව්ගිනි ඇති වීමට අවශ්‍ය පාරිසරික තත්ත්ව නිර්මාණය වූයේ ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙනි. මේ බව එක්සත් ජනපද පාරිසරික ඒජන්සිය ඔවුන්ගේ වාර්තාවකින් ද පෙන්වා දී ඇත. ගෝලීය උණුසුම මෙසේ ඉහළ යද්දී, එය සෘතුවලට බලපෑම් කරයි. වියළි කාලය වැඩි වෙද්දී ළැව්ගිනි ඇතිවීමේ අවදානම ද වැඩි වෙයි. 

ලොස් ඇන්ජලීස් නුවරට ඔබ්බෙන් කඳුකර ප්‍රදේශවල ළැව් ගිනි හට ගැනීම සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදුවන්නකි. ලොස් ඇන්ජලීස් ගිනි නිවන භටයෝ ද එම ළැව්ගිනි මර්දනයට සීරුවෙන් පසුවෙති. මෙසේ ළැව් ගිනි හට ගන්නේ බොහෝ විට මිනිස් ක්‍රියාකාරකම් නිසාය. විශේෂයෙන් මිනිසුන්ගේ නොසැලකිලිමත් බව මීට හේතුවෙයි. කඳුකර ප්‍රදේශයේ කඳවුරු බැඳ ගන්නා පුද්ගලයන් දල්වන ගිනි මැල නිසා මෙන් ම, ඉවත දමන සිගරට් කොට නිසා ද ළැව් ගිනි හටගනී. පාලනයකින් තොරව ලොස් ඇන්ජලීස් නුවර සහ ඒ අවට පළාත්වල පැතිරෙන ළැව් ගිනි හිතාමතා ඇති කළ ළැව් ගිනි බවටත්, එය සාපරාධී ක්‍රියාවක් බවටත් දැන් සැක මතු වී ඇත. මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විමර්ශන පවත්වන අතර කීප දෙනකු දැනටමත් අත්අඩංගුවට ද ගෙන ඇතැයි පැවසෙයි. 

ළැව් ගිනි පැතිර යන පළාත්වලට මාස ගණනකින් වැසි ලැබී නැත. උණුසුම් කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වෙද්දී, ගහකොළ විශාල වශයෙන් වියළී ගියේය. මෙය ළැව් ගිනි ව්‍යාප්ත වීමට සුදුසු තත්ත්වයක් නිර්මාණය කළේය. වේගයෙන් පැතිර ගිය ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට ප්‍රමාණවත් ජලය නොතිබුණු බව පැවැසුණේ ද ජලාශ මෙසේ සිඳී යෑම නිසාය. එසේ ම ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇති නළු නිළියන්ට හා ලොව පුරා ධනවතුන්ට අයත් මහා මන්දිර හා අලංකාර ගෙවතු නඩත්තු කිරීමට විශාල වශයෙන් ජලය පාවිච්චි කිරීම නිසා ගිනි නිවීම සඳහා සකසා ඇති ජල නළ පද්ධතියට ප්‍රමාණවත් ලෙස ජලය ලබා ගැනීම අසීරු විය. එසේ ම හටගත් ළැව් ගිනි පාලනය කිරීමට නොහැකි තරමට ව්‍යාප්තවීම සිදු වූයේ වේගයෙන් හමා ගිය වියළි සුළං ධාරා නිසාය. 

රට අභ්‍යන්තරයේ සිට දකුණු දිග කැලිෆෝනියා ජනපදය හරහා මුහුද දෙසට හමන්නට පටන් ගත් සුළං ධාරා කාලගුණ විද්‍යාඥයන් නම් කර ඇත්තේ සැන්ටා ඇනා’ යනුවෙනි. මෙම සුළං පැයට කිලෝමීටර් 80 ත් 100 ත් අතර වේගයකින් හමා යෑම සිදුවෙයි. එයින් ළැව් ගිනි පැතිර යාම තව තවත් වේගවත් වෙයි. මේ වන විට ළැව් ගිනි දුමාරය හේතුවෙන් කැලිෆෝනියා ජනපදයේ වාතය ඉතාමත් දරුණු ලෙස දූෂණය වී ඇත. වායු ගෝලයේ ගුණාත්මකභාවය පහත වැටී ඇත. 

ඇමෙරිකාවේ එක පැත්තක් දැඩි සීත කාලගුණයකින් බැටකද්දී, අනෙක් පැත්ත දැඩි වියළි කාලගුණයකින් බැටකමින්, ළැව් ගිනිවලට මුහුණ දීම, විපරිත දේශගුණික තත්ත්වයක් පමණක් නොව, එය මෙතෙක් දකින්න නොලැබුණු ආකාරයේ කාලගුණ පෙරැළියක් බව කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති. කැලිෆෝනියාවේ ඇති වූ ළැව් ගිනි සම්බන්ධයෙන් ඒ විද්‍යාඥයන් පවසන්නේ එය මෙතෙක් නොවූවිරූ දේශගුණික විපර්යාසයක් නිසා ඇති වූවක් බවය. 

ගිනි නිවීමේ යුද්ධය


ගෝලීය දේශගුණික රටාවේ ඇති වුණු විශාල වෙනස්කම් නිසා හදිසියේ පැන නැඟු‍ණු කාලගුණික තත්ත්වයක් නිසා ළැව් ගිනි දරුණු වූ බවය. එසේ ම කලින් පැවති වැසි කාලයේ දී පතිත වූ දරුණු වැසි නිසා පරිසරයේ වියළි කාලයට ඉක්මනින් වියළි යන තෘණ වර්ග බහුලව වැඩීමත් ළැව් ගිනි ඉතා වේගයෙන් පැතිර යාමට හේතුවක් විය. ගෝලීය උණුසුමෙහි ඇති ව්‍යාකුල ස්වභාවය නිසා සාමාන්‍ය ළැව් ගිනි මහා විනාශයක් ළඟා කර දෙන ආකාරයේ තත්ත්වයකට පත් වූ බවය. විද්‍යාඥයන් මෙම විපරිත තත්ත්වය හැඳින්වීම සඳහා නව වදනක් ද නිර්මාණය කර තිබේ. හයිඩ්රෝ-ක්ලයිමේට් විප්ලෑෂ්’ යනු එම වදනය. 

පෘථිවි උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යෑමට හේතුවක් වී ඇත්තේ පොසිල ඉන්ධන (ගල් අඟු‍රු, පෙට්රෝලියම් සහ ස්වභාවික වායු) දහනය සහ හරිතාගාර වායු පරිසරයට මුදා හැරීමය. සංඛ්‍යා ලේඛන අනුව පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම ක්‍රමයෙන් වර්ධනය වූයේ ජනගහනය වැඩිවීමත් කාර්මීකකරණයත් නිසාය. පොළොවේ පොසිල ඉන්ධන නිර්මාණය වීමට ගතවන කාලය වසර මිලියන 50 ත් 300 ත් අතර යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ගතවුණු අවුරුදු 125 ක කාලය ඇතුළත පොළොවෙන් ලබාගත් පොසිල ඉන්ධනවලින් හරි අඩකට වඩා ප්‍රයෝජනයට ගෙන එසේත් නැතිනම් දහනය කර අවසන්ය. පෘථිවියේ විපරිත කාලගුණ පෙරුළි නිර්මාණය වීමට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන දහනය සහ හරිතාගාර වායු පරිසරයට වැඩියෙන් මුසුවීමය. ළැව්ගිනි හටගැනීම, කාන්තාරීකරණය, ග්ලැසියර දියවීම, අධික වර්ෂාපතනය සහ ජලගැලීම් ආදිය ගෝලීය උණුසුම ඉහළ යෑමේ ඵලවිපාක වේ.

මෙසේ ගෝලීය උණුසුම ඉහළ යාම, ‘එල් නිනෝ‘ සහ ‘ලා නිනා‘ යන සංසිද්ධීන්වලට ද බලපෑමක් එල්ල කරයි. දැඩි වියළි කාලගුණයක් හෝ දැඩි සීත කාලගුණයක් හෝ ඇතිවන්නේ මෙම සන්සිද්ධීන් නිසාය. එල් නිනෝ සහ ලා නිනා ස්පාඤ්ඤ වදන් දෙකකි. එල් නිනෝ යන්නෙහි අදහස පිරිමි දරුවා නැතිනම් දේව දරුවා යන්නය. ‘ලා නිනා‘ යනු ‘එල් නිනෝ‘ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ පෙරැළියයි. ‘ලා නිනා‘ යනු දේව දැරිය යන අර්ථයයි. දරුවා සහ දැරිය යනුවෙන් නම් කළත් එකිනෙකට වෙනස් මෙම සංසිද්ධිවලට දරුවන්ගේ සම්බන්ධයක් නැත. මේ වදන් දෙකෙන් විස්තර කෙරෙන්නේ ගෝලීය වශයෙන් බලපෑම් කරන කාලගුණ තත්ත්ව  දෙකකි.


ලු‍සිත ජයමාන්න
      ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

කැලඹුණු ලොස් ඇන්ජලීස් “ දේව දරුවා ”

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

නවසීලන්ත සංචාරය නරකමත් ’ නෑ
2025 ජනවාරි මස 22 20 0

නවසීලන්තය බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්වී නැවත පැමිණියේය.


ඔලිම්පික් මහගෙදර රණ්ඩුවට ක්‍රීඩා ඇමැතිත් පැටළෙයි
2025 ජනවාරි මස 22 15 0

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ප


පුතුගේ අවසන් මොහොතට රණවිරු පියා රෝහලේ සිට එයි
2025 ජනවාරි මස 22 47 0

සැමියාට තුවාල සිදුවීම ද පුතුගේ වියෝව ද හමුවේ නෙලීකා තුළ වූ අසීමිත පීඩනය ඇයට දරාගත හැකි සීමාවක නොවීය.


කැලඹුණු ලොස් ඇන්ජලීස් “ දේව දරුවා ”
2025 ජනවාරි මස 22 21 0

සති දෙකක් තිස්සේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ළැව්ගිනි පැතිරෙයි. ජීවිත බිලි ගනිමින්, නිවාස සහ දේපළ වනසමින්, ලක්ෂ ගණනකට උන්හිටිතැන්


‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 88 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 83 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site