IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම

 


පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී. එනම් ළමා හා තරුණ පරපුර කියවීමේ පුරුද්දෙන් ඈත් වෙමින් සිටින බව ය. 

එදා සහ අද අතර වෙනස පිළිබඳ සංඛ්‍යාත්මක සංසන්දනයක් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැතත් බැලූ බැලුමට මෙහි කිසියම් සත්‍යයක් ඇති බව පෙනේ. අපගේ අත්දැකීම් ද මීට සමාන ය.

මීට හේතු කිහිපයකි. ඉන් පළමුවැන්න ළමා සහ තරුණ පරම්පරාවෙන් බහුතරයක් පත පොත වෙනුවට තාක්ෂණික මෙවලම් සමග දවස ගත කිරීමය.

සන්නිවේදන උපකරණ ද ඇතැම් විට පතපොත කියවීම සඳහා ආධාරකයක් හැකි වුව ද මෙහිදී සිදු වන්නේ එහි අනෙක් පැත්ත ය. විශේෂයෙන් ම දරුවන් සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා මුහුණු පොත ඇසුරු කිරීමට පෙලඹීම පත පොත කියවීම කෙරෙහි තිබූ මන්දගාමී නැඹුරුව පවා අහෝසි කර දැමීමට බල පෑ හැකිය.

පතපොත ඇසුරු කිරීම වනාහී දැනුම, අවබෝධය, විචාරය හා වින්දනයට අදාළ ක්‍රියාවලියකි. මේ සඳහා විවේක බුද්ධිය ද අවශ්‍ය වේ. වත්මන් මිනිසා ගත කරන්නේ අවිවේකී දිවියකි. ජීවත්වීම යනු රේස් පිටියක දිවීමකි. මේ නිසා වින්දන ක්‍රියාවලිය රාත්‍රියෙහි නිවසෙහි ටෙලි නාට්‍යයක් බැලීමට සීමා විය හැකි ය.

කියවීමේ පරිසරය

 

ගුරුවරුන්, ලිපිකරුවන් නියෝජනය වන මැද පන්තිය මෙයට දශක කිහිපයකට පෙර මෙරට බුද්ධිමය කතිකාවත පෝෂණය කළ පන්තියකි. ඔවුහු හොඳ කියවන්නෝය. වැටුපෙන් කොටසක් පොත් මිලදී ගැනීමට වැය කෙරිණ. එදා වැටුප පහළ වුවද ජීවන වියදමට සාපේක්ෂ ව ඒ වැටුප සංස්කෘතික ජීවිතයක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් විය. වත්මනෙහි එම මැද පන්තියෙහි වැටුප් වැඩි වී ඇතත් ජීවන වියදම ඉහළ හෙයින් සංස්කෘතික ජීවිතයක් නඩත්තු කිරීම අසීරු ය.

ඊ ළඟට වැදගත් වන්නේ රුචිකත්ව ශ්‍රේණිගත කිරීමයි. මිලදී ගැනීමේ ලැයිස්තුවේ ප්‍රමුඛතාව පතපොතට වඩා නොවැදගත් දේවලට හිමි ව තිබේ. කියවීම් පරිසරයක් නිර්මාණය වීම කෙරෙහි නිවසෙහි පොත් රාක්කයක් තිබීම වැදගත් සාධකයකි.දරුවන් කියවීමට පෙලඹෙන්නේ වැඩිහිටියන් කියවනු දකින විට ය.

එහෙත් උගත් මධ්‍යම පාන්තිකයන්ගේ නිවාසවල පොත් ගුලක් දැකිය හැක්කේ කලාතුරකිනි. එනිසා දරුවන්ට ඒ පිළිබඳ පෙලඹීමක් ඇති නොවෙයි.

සාහිත්‍ය ගුරුවරයාගේ භූමිකාව

එකල පාසල්වල සිංහල පාඩම උගන්වන ගුරුවරයා භාෂා සාහිත්‍ය මෙන් ම බොහෝ විෂයන් පිළිබඳ දැනුමැත්තෙකි. තමා කියවූ පත පොතෙහි සාරය ඔහු දරුවන්ට අත්පත් කර දුන්නේ දරුවන් සිත සාහිත්‍ය රුචිය ඇවිස්සෙන පරිද්දෙනි. ඒ නිසා දරුවෝද කියවීමට පෙලඹුණහ. එම සාහිත්‍ය ගුරුවරයා සමුගෙන තිබේ. වත්මනෙහි සාහිත්‍යය උගන්වන ගුරුවරයා එබඳු රසවතෙක් නෙවේ. 

දරුවන්ට කසාය පොවන්නාක් මෙන් සාහිත්‍ය පාඨ විග්‍රහ කරන රසවිහීන පුද්ගලයෙකි. ටියුෂන් මඩුවලින් එළියට එන්නේ මෙබඳු ශාස්ත්‍ර ගවේශකයෝ වෙත්. එකල ගම්වල ප්‍රජා මණ්ඩල පුස්තකාල පැවතීම නිසා ගැමි ජනයා අතර ද කියවීම සුලබ විය.

පොත් රාක්කයක් නැතත් බොහෝ නිවෙස්වල යසෝදරාවත, තුන් සරණය, පත්තිනි හෑල්ල යනාදී පොත් තිබිණ.අකුරු දන්නා අය කාටත් ඇසෙන්නට ඒ කවි ගායනා කළහ. 

යසෝදරාවතෙහි කවි සියල්ල මතකයෙන් ගයන අකුරු නොදත් අම්මලා එකල සිටියහ. මෙනයින් පොත් කියවීම ලාංකීය සමාජයට නුහුරු අත්දැකීමක් නොවේ. පන්සලේ බණමඬුවේ කුප්පි ලාම්පුවේ ආධාරයෙන් ගිහියෙකු ජාතක පොත කියවන විට ගම්මු අසා සිටියහ. 

ඉහළ ජීවිත පරිඥානයක් ලැබුණු කතා වස්තු ඔවුහු හදවතින් ස්පර්ශ කළහ. පොත්ගුල් විහාරය යන නාමකරණයෙන් පෙනෙන්නේ පුස්තකාලය මුල්කරගත් පන්සල ය.

තරගකාරී අධ්‍යාපනය

වත්මනෙහි පවතින්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකි. ඒ නිසා පත පොත කියවීමේ උනන්දුවක් පාසලෙන් ද ඇති නොකෙරේ. ඇතැම් විට පොත් කියවන දරුවන් අධෛර්ය කරන අවස්ථා ද තිබේ. 

විභාගයෙන් උපරිම ලකුණු ලබාගැනීම සඳහා දරුවන් පොරපිටියකට ඇද දමා ඇත. පාසලට සහ ටියුෂන් මඩුවලට කාලය දියවීම නිසා ඔවුන්ට පතපොත කියවීමේ කාලය ද අහිමි කර ඇත.

පුස්තකාල වැසී යෑම

 

පාසල් පුස්තකාල පද්ධතිය ද ක්‍රමයෙන් අක්‍රියවීම පිළිබඳ සාක්ෂි තිබේ.

මා දන්නා එක් සාක්ෂියක් වන්නේ කොළඹ සරසවියේ පුස්තකාල ඒකකයේ ක්‍රියාකාරිත්වයයි. එහි පාඨමාලාවල කථිකාචාර්යවරයකු ලෙස ද සම්බන්ධ වී සිටි මෙම ලියුම්කරු තහවුරු කරගත් කරුණක් මෙසේය.

එම ඒකකයෙන් පුස්තකාලවල සේවය කරන්නන් උදෙසා පදනම් සහ ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කළේ පාසල් පුස්තකාල පද්ධතිය ද සක්‍රිය කිරීමේ අරමුණ ඇතිවය. මුල් කාලයේ සැලකිය යුතු පිරිසක් සහභාගි වුවද පසුකාලයෙහි සහභාගි වූයේ සීමිත පිරිසකි. පාසල් කම්කරුවන් ලෙස දේශපාලන පත්වීම් පාසල්වලට ලද අයට පුස්තකාල රාජකාරි බාරදීම මීට එක් හේතුවකි. ඔවුහු එම විෂයෙහි වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඉදිරිපත් නොවෙති. 

ඒ සඳහා සුදුසුකම් ද නොමැත. මේ නිසා පාසල් පුස්තකාල වැසී යන ප්‍රවණතාවක් ඇති විය.මේ එක් නිදසුනක් පමණි.

රජයෙන් පාලනය වන මහජන පුස්තකාල ද දේශපාලන පත්වීම් වින්නැහියට මුහුණ දුන්නේය. පුස්තකාලවල සේවය කරන්නන් පත පොත කියවන, පුස්තකාල විෂය උගත් අය වූ විට එම පුස්තකාල සංවර්ධනය කෙරේ. පාඨක සමාජ ගොඩනැගේ. එසේ නොවූ විට ඒවා වළපල්ලට යයි.

කරුණු මෙසේ වුවද රාජ්‍ය සම්මානවලට අමතරව විවිධ ආයතනවලින් පිරිනැමෙන සාහිත්‍ය සම්මාන, ජාත්‍යන්තර පොත් සල්පිල යනාදී ක්‍රියාවලීන් පතපොත කියවීමේ උනන්දුවක් ඇති කරවන අවස්ථා හැටියට පිළිගැනීම යුක්ති යුක්ත ය. එහෙත් මෙහි පසුවිපරම විමසීම ද අදාළය. 

ජාත්‍යන්තර පොත් සල්පිලේ වාර්තා තබන්නේ ඇක්සයිස් පොත් වෙළෙඳාමය. සම්මාන දිනූ පොත්වලට අමතරව වැඩි අලෙවිය ඇත්තේ භාවනා පොත්, මිථ්‍යා ප්‍රබන්ධ, අවරගණයේ නවකතා යනාදියට බව පෙනේ. කියවීම ප්‍රවර්ධනය කිරීම වැදගත් ය. කියවන්නේ මොනවාද යන්න සෙවීම ඊට ද වඩා වැදගත් ය.

පොත් පළ කිරීම ලාබදායි කර්මාන්තයක් බවට හඳුනාගත් ඇතැම් ප්‍රකාශකයෝ ද ලාබයට ඉව අල්ලන ඇතැම් ලේඛකයන් ද අවරගණයේ රසිකත්වය ඉලක්ක කර ගනිමින් පොත් පළ කිරීමේ ප්‍රවණතාවක් පවතී. මෙබඳු පොත් කියවන පුළුල් පාඨක පිරිසක්ද සිටී. එහෙත් කියවීමෙන් අපේක්ෂා කරන කරුණු අනුව මෙය සතුටු විය හැක්කක් නොවේ.

පොත් කියවීමේ පුරුද්ද ජීවිතයෙහි ස්ථාවර සැනසුමක් ලැබීමේ මගකි. හොඳ කියවන්නා පිරිපුන් මනුෂ්‍යයෙකි. කියවීම සහ නිල අධ්‍යාපනය පිළිබඳ කිරා මැන බැලිය හැකි මෙරට හොඳම නිදසුන මාර්ටින් වික්‍රමසිංහයි.

ඔහු තවමත් හෙළදිව මහ ගත් කතුවරයාය. ඔහුට ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය උපාධි පිරිනමන ලදි. ඔහු නමට මුලින් ඒවා භාවිත නොකළේය. ඔහු උගත්තේ අටේ පන්තියට පමණි.

සාහිත්‍යයට අමතරව විවිධ විෂය කියවා පුළුල් දැනුමක් ලබාගැනීම අතින් ඔහු තවමත් මුදුන් තලයේ සිටී. 

ශ්‍රී ලාංකික සෑම තරුණයකු ම ඔහුගේ පොත් කියවිය යුතු ය. එසේ නොකියවන්නා අර්ධ ලාංකිකයෙකි. එමෙන් ම පාසල් දරුවන්ද විද්‍යා විනෝද කතා, කුරුකුහුඹු සත්තු, මුහුදු වෙරළ, අපේ ගම යනාදී වශයෙන් ඔහුගේ පොත් කියවිය යුතුය. ලාංකික දරුවන් කියවීම ඇරඹිය යුත්තේ එතැනිනි. ඒ කියවීම ගුරුවරුන් විසින් කර තිබුණේ නම් හොඳ කියවන්නන්ගේ පරපුරක් බිහිකර ගත හැකි ව තිබිණ. එතැනින් පටන්ගත හැකිය.


තිඹිරියාගම බණ්ඩාර


 



අදහස් (0)

තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 15 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 25 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 62 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 45 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site