(පසුගිය සතියේ ඉතිරි කොටස) අවි ගැටුණු යුද බිමේ නොකී කතා - 7 කොටස |
යුද බිමේ දී උණුබත් කටක් ලැබීම ඉතා විරලය. දිගු ක්‍රියාන්විතවලදී කල් තබා ගන්නා ආහාරවලින් තොර යමක් නොවීය. “රෙෂන් පැකට්” යනු ඒවාය. එහිදී බත්, කඩල, බැටළු මස්, කුකුල් මස්, එළවුළු ආදී ද්‍රව්‍ය රැසක් කල් තබාගත හැකි අයුරින් පැකට් කර භාවිතයට ගැනිණ. එවකට ඒවා දේශීයව නිෂ්පාදනය නොවූ අතර ඉන්දුනීසියාව වැනි රටවලින් ආනයනය කරනු ලැබ තිබිණ. කඳවුරෙන් පිටත රාජකාරීවල දී පැය 24,48,72 ආදී වශයෙන් ගත කරන කාලය අනුව ආහාර සඳහා එම “රෙෂන් පැකට්” භාවිත විය. පැය 72 කට වඩා වැඩිපුර ගත කළ ඇතැම් දිගු මෙහෙයුම්වලදී ද එලෙසම එම පැකට් කළ ආහාර පාවිච්චි කෙරුණු අතර එහිදී අමතර ආහාර ද එම රෙෂන් පැකට් සමග සැපයිණ. රට ඉඳි, චීස්, බිස්කට්, කිරි හෝ තේ පැකට්, වියළන ලද පලතුරු, කෝඩියල්, වෙනත් ශක්තිජනක පාන මේ ආදී බොහෝ දෑ එම රෙෂන් පැකට් තුළ අඩංගුය. ක්‍රියාන්විතයෙහි යෙදෙන කාලය අනුව ආහාර සඳහා සැපයෙන රෙෂන් පැකට් තුළ අඩංගු වන ද්‍රව්‍ය ද වෙනස්ය. විශේෂයෙන්ම කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන්ට භූමියේ සිදු කෙරෙන ගැඹුරු ක්‍රියාන්විතවල දී එම විශේෂ ආහාරපාන සැපයිණ.
යුද්ධය නිමාවත් සමගම සමස්තයක් ලෙස හමුදාව එම වියළි ආහාර පැකට් “රෙෂන් පැකට්” භාවිතය සහමුලින්ම පාහේ අඩු වූ අතර පුහුණු හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සඳහා පමණක් දැනට ඒවා භාවිත වේ. තවද, මේ වනවිට එම රෙෂන් පැකට් දේශීයව ද නිෂ්පාදනය කරන බැවින් එමගින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට ද හැකිව තිබේ. කෙසේ වුවද, යුද සමයේ කුමන රාජකාරී අතරේ වුව එම රෙෂන් පැකට්වල රස නොබැලූ අයෙකු සොයාගත නොහැකිය. කෙසේ නමුත්, එකල දිගින් දිගටම ක්‍රියාන්විතවලම නිරත වූ සෙබළුන්ට නම් එම පැකට් කළ ආහාර අනුභව කොට එපා වී තිබිණ. එවන් තත්ත්වයක් තුළ කලාතුරකින් හෝ ඔවුන්ට උණුබත් කටක රස බලන්නට ලැබීම යනු අමෘතයක් බඳු විය. මේ අතර නිවාඩු වාරයක දී එම රෙෂන් පැකට් එකක් දෙකක් නිවසට රැගෙන විත් ලුණු මිරිස් යොදා රත්කර පදමට සකසා රස බැලූ මතක ද වැඩි දෙනකු සතුය.
යුදබිමේ කඳවුරු ජීවිතයේ දී කුස්සියේ ද තිබුණේ යුද්ධයකි. කඳවුරු මුළු තැන්ගෙය යනු එහි සිටින සෑම අයෙකුගේම කුස පුරවන තැනය. එහි ඉවුම් පිහුම් සඳහා පළපුරුදු හමුදා කෝකිවරුන් සේම ඇතැම් තැන්වල හමුදාවට බඳවා ගත් සිවිල් කෝකිවරු ද සිටියහ. කඳවුරක සිටින භට පිරිස අනුව කුස්සියේ යුද්ධය ද දරුණුය. පොල් ගාන්නට, පොල් මිරිකන්නට, එළවුළු කපන්නට, ලූනු සුද්ද කරන්නට, බත හැඳි ගාන්නට වෙන වෙනම පිරිස් යෙදවේ. ඉවුම් පිහුම් කටයුතු සඳහා සිටින ප්‍රධාන සෙබළු හෝ සිවිල් සේවක කිහිප දෙනා හැරුණු විට දෛනිකව නම් කෙරෙන අත් උදව්කරුවෝ ද සිටියහ. එහිදී, කෑම සකස් කරන අතරේ ඔවුනගේ විහිළු තහළු වැල්වටාරම් කතා බස් ද බොහෝය. ඒත් මේ සියල්ල අතරේ කුස්සියේ පසෙක එකිනෙකාගේ පුද්ගලික අවි ද අත පොවන මානයේ තබන්නට ඔවුහු අමතක නොකළහ.
අවුරුදු සමයේ යුද භූමියේ ඉදෙන කිරිබත අමෘතයක් බඳු විය. විශාල භට පිරිසක් සඳහා එක වර ඉදෙන එම කිරිබතට දායක වෙන පිරිස ද බොහෝය. ඒවායේ කිරි රස යහමින් නැතත් වෙඩි හඬ අතරේ හුදෙකලා කැලෑ තුළ හිඳිමින් අවුරුද්ද සමරන්නට කවුරු කවුරුත් වගබලා ගත්හ. යුද සෙබළකුට අවුරුද්ද තරම් හදට දැනුණු තවත් දෙයක් නොමැති තරම්ය. වසරකට වරක් එළඹුණ එම සුවිශේෂී අවස්ථාවේ මුළු රටම තම පවුලේ සාමාජිකයන් හා එක්ව හිඳ අවුරුදු ප්‍රීතිය සමරද්දී යුද බිමේ ගස් ගල් අතර හුදෙකලා තැන්වල තනි වී අවුරුදු නැකත් සිතින් අත්විඳින වාර සටන් බිමේ දිවි ගෙවූ බොහෝ දෙනෙකුට මතකය. සටන් බිමේ සෙබළුන් අලුත් අවුරුද්දේ ගෙවූ හුදෙකලාවේ තරම දැක්වෙන අපූරු බංකර් කුරුටු ගීයක් ද එකල ලියැවී තිබුණි. එය මෙසේ විය.
ගම රට යන්න බෑ අපි හිරවෙලා බං වෙඩි වදින්නෑ කොහෝ මෙහෙ ඇවිත් හඬාපන්
“මෙම කුරුටු ගීය ලියූ නාඳුනන සොල්දාදුවා තම අවුරුදු නිවාඩුවට යාමට නොහැකිව ළතවන සිය දහස් ගණන් සොල්දාදුවන්ගෙන් එක් අයකු පමණි. සෙබළකුට පෞද්ගලික ජීවිතයේ මෙන්ම පොදුවේ ඇති උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගී වීමට වරම් ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. මොහු සිංහල අවුරුදු නිවාඩුවට යාමට නොහැකිව ළතවන සිය දහස් ගණන් සොල්දාදුවන්ගෙන් අයකු පමණි. සිංහල අවුරුදු නිවාඩුව ගමේ ගත කිරීමට නොහැකි වීම පිළිබඳ ඔහු තුළ පශ්චාත්තාපයක් හටගෙන ඇත. ‘‘වෙඩි වදින්නෑ කොහෝ. මෙහි ඇවිත් හඬාපන්’’ යනුවෙන් කොහාට යුදබිමේ පෙදෙසට පැමිණෙන්නට ඔහු අහිංසකව ඇරයුම් කරන්නේ තමාට ගමට යෑමට නොහැකි වූ නිසාවෙනි.
“යුද බිමේ නොකී කතා” යටතේ ලියූ දීර්ඝ ලිපි පෙළ මෙතැනින් අවසන් වේ. ඒ පිළිබඳව ලියන්නට ඇති තවත් දේ ඉතිරිය. එහිදී ලියා පළකළ දේ සේම පළකරන්නට නොහැකි, සමීපතමයකුට පමණක් පැවසිය හැකි කාරණා ද නැත්තා නොවේ. යුද්ධයට සෘජු ලෙස දායක වූ අපමණ පිරිසක් අද වනවිට විශ්‍රාම ගොසිණි. සැලකිය යුතු පිරිසක් තවමත් සක්‍රීය සේවයේ ද නිරතව සිටිති. අත්දැකීම් විඳී ඔවුන් සතුව යුදබිමේ බොහෝ අප්‍රකට මතක සමුදායක් ඇති බව නොරහසකි. නමුත්, කියාගන්නට නොහැකිව ඒවා ඔවුනගේ හදවත් තුළ තෙරපෙමින් කැකෑරෙමින් ඇතුවාට සැක නැත. ඒවා අකුරු බවට පත්ව සමාජයට මුදාහැරීමක් සිදු නොවී කාලයේ වැලිතලාවෙන් වැසී යනුයේ ඉතා අවාසනාවන්ත ලෙසය. සියලු කතා තුළ දුක, සතුට, පාළුව, ඉච්ඡාභංගත්වය, තරහව, වෛරය ආදී සෑම දේම අඩංගුය. කෙසේ නමුත් යුද භූමිය යනු ජීවිත නැසෙන තැනක් වුව ද ජීවිතවලට මෙහා පාඩම් කියාදුන් තැනකි. ඒ තුළ තිබුණේ වෙනස් වූ අපූරු සංස්කෘතියකි. එකල බංකර් තුළ සෙබළුන් අතින් ලියැවුණු පහත බංකර් කුරුටු ගී ඊට උදාහරණ සපයයි.
අහිමි වූ නිදහස
උණ්ඩයක් කොට
අවියට දමමි
“අනෙකුත් වෘත්තීන් මෙන් නොව සොල්දාදුවකුට ලැබෙන නිදහස ඉතා සීමා සහිත වේ. ඇතැම් විට මාස ගණන් යුදබිම්වල කඳවුරුවල සොල්දාදුවාට ගත කිරීමට සිදුවේ. පවුලේ සාමාජිකයන් එකට එකතු වී සතුටු වන උත්සව සාදවලට සොල්දාදුවාට සහභාගීවීමේ අවස්ථාව බොහෝ විට නොලැබේ. එය ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් ලැබුණු උරුමයයි. මෙම කුරුටු ගීය එසේ සීමා වූ නිදහස පිළිබඳ අපූරු විවරණයක් නොවේද ?”
තෙපලා සමිඳු ගුණ ඉස පැන් හතර කොන
නිවලා වෙ යුද ගිනිදැල් බුරබුරා යන
පොවලා අමා වැනි සදහම් වෙතට දන
සිඳලා කෙලෙස් පිරිසිදු කළ මැනවි මන
“පිටතින් බලන අයෙකුට බැලූ බැල්මට රණවිරුවන්ගේ භූමිකාව පෙනෙනුයේ නිරන්තරව යුද්ධය වෙනුවෙන්ම කැපවෙන යුද්ධය බලා-පොරොත්තුවෙන්ම සිටින පිරිසක් ලෙසය. එහෙත්, සැබෑ කරුණ නම් නොවැළැක්විය හැකි තත්ත්වයක් යටතේ යුද වැදෙනවා හැරෙන්නට ඔවුනගේ ඒකායන පැතුම සමාජයේ සෙසු අයකු බලාපොරොත්තු වනවාටත් වඩා ඉක්මන් සාමයකි. මේ කවියේ ප්‍රාර්ථනාව එයයි.”
වැලි මළුවලින් වට වූ දා
පුංචි බිම් අගලක
ගන අඳුර රජයන මුර කුටියේ
මැදියම් මහ රැයක
මා දෙනෙත අඳුර විනිවිද
ලැබෙන සුළු නිමේෂයක වුව
නැවත සිත පිනා යයි
වත යදින්නට
මගේ නෙතු අබියස
මගේ කුමරියේ
“උතුරු නැගෙනහිර කඳවුරුවල රාජකාරී කරන සෙබළකුට රාත්‍රියේ මුර රාජකාරී ඉටුකර නිදියන්න වන්නේ ද බංකරය තුළය. එය ඔවුනගේ නිවහනය. තුරුණු සොල්දාදුවකු සිය පෙම්වතිය පිළිබඳව දුටු සිහිනය මෙම කුරුටු ගීයෙන් හෙළි කෙරේ.”
රජ කුමරෙක් නොවෙමි මම සුරසැප විඳින
දුප්පත් කොල්ලෙක්නෙ හමුදාවට බැඳුන
“යුද බිමේ සෙබළුන් බවට වැඩිපුරම පත්වන්නේ රටේ දුප්පත් ජනතාවගේ දූ පුතුන්ය. සදාකාලික ආබාධිත බවට පත්වී ගෙපැලට එන තම දූ පුතුන්ගේ බර ඒ අහිංසක දෙමාපියන්ටය. මුද්‍රා තබන ලද මිනී පෙට්ටි බදා වැලඳගෙන වැලපීමේ ඉරණම ද ඒ දෙමාපියන්ටමය. කොයි රටකත් තත්ත්වය එපරිදිය. අපේ රටේ ද එය එසේ විය. මෙම කුරුටු ගීයෙන් ඒ බව ගම්‍ය නොවේ ද?”
තරුද නිදන මහ රෑ සෙබළු තාම නිදි නෑ
“ජනප්‍රිය ගීයක අනුකරණය තුළින් ලියැවී ඇති මෙම කුරුටු ගීය තුළින් ධ්වනිත වන්නේ රැය පුරා සොල්දාදුවන් ඇස් දල්වා විමසිලිවන්ත වන බවකි.”
දයාබර හිතවතිය,
යුද බිමේ යුද වදින සොල්දාදුවෙක් ලෙසින්
යම් දිනක මා මියගියහොත්,
එපා රකින්නට පතිවතක් ඔබ,
විය යුතුයි ඔබ මවක්, බිහි කරනු මැන පුතෙක්,
බිහි වූ ඒ පුතත් කර සොල්දාදුවෙක්
මියගිය මා නමින්.
“මෙතරම් අව්‍යාජ පරිත්‍යාගයක් පිළිබඳ සිතුවිල්ලක් හෝ පහළ වනුයේ රණවිරුවකුට මිස අන් කවරකුටද..?”
මලක් සේ නැත මෙලෙක් වී සිත
ගලක් තරමට දැඩි වෙලා
තුවක්කුව ගත් රුවැත්තිය වෙත
කවක් සෙනෙහෙන් ලියවිලා
නිමක් දැකුමට පෙමක් තිබුණට
කමක් නෑ සුදු නංගියේ
ගමත් ගෙදරත් එපා මතකෙට
ඉමක් නොපෙනෙන යුද බිමේ
නිවන් දැකුමට නුවන් පින් මදි
රුවන් වන් මිණි මුතු ළඳේ
උපන් නූපන් පුතුන් වෙනුවෙන්
රුපුන් වනසමු යුද බිමේ
“අවි දරා සිටින රූමත් සෙබළියක ගැන සෙනෙහසින් තවත් සෙබළෙකු ලියූ කුරුටු ගීයක්.“
තරු පිරුණු සඳ පිපුණු අහස යට
අමාවකදා වගේ මගේ සිත
“හුදෙකලා බංකරයක රාත්‍රිය නිදිවරමින් රාජකාරී කරන මෙම සෙබළා අවට පරිසරයේ ඇති ස්වභාව සෞන්දර්යයෙන් යම් ආස්වාදයක් විඳී. නමුත් තමන්ගේ නිවස, ළබැඳියන් ගැන සිහිවෙද්දී මෙම සොල්දාදුවාගේ සිත හැඟුම්බර වෙයි. ඔහුගේ සිතට තනිකමක් පාළුවක් දැනේ. එය ධ්වනිත කිරීමට සොල්දාදුවා යොදාගෙන ඇත්තේ “අමාවක දා වගෙයි“ යන වැකියයි. මෙම කුරුටු ගීය තුළින් සොල්දාදුවකු පිළිබඳ පොදුවේ සාමාන්‍ය මිනිසුන් නොදකින පැත්තක් විවරණය කොට යම් හැඟීමක් අප තුළ ජනිත නොවන්නේ ද?“
නිමි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.
මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
තරු ද නිදන මහ රෑ සෙබළු තාම නිදි නෑ