IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ


 

      (පසුගිය සතියේ ඉතිරි කොටස)   අවි ගැටුණු යුද බිමේ 
      නොකී කතා (II කොටස)

 

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත්ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයිනුත් තියුණු පරීක්ෂාවකට භාජනය කෙරුණේ එහිදීය. නැගෙනහිර පළාතේ ද ස්ථාන රැසක  මෙන්ම එවකට මා රාජකාරි කළ මඩකලපු ප්‍රදේශයට පිවිසෙන මනම්පිටිය මාදුරුඔය හන්දියේ හා වැලිකන්දේ ද එවැනි මාර්ග බාධක විය. ඒ අතරින් මාදුරුඔය හන්දියේ අරලගන්විල දෙසට වෙන්නට ස්ථාපිතව තිබූ මාර්ග බාධකය පොලිස් හා හමුදා සාමාජිකයන් වැඩි පිරිසක් යොදවා, වඩා සංවිධානාත්මකව පවත්වාගෙන ගිය එකකි. කිසිවකුට එම ස්ථාන ලෙහෙසියෙන් මගහැර යා නොහැකි වූ අතර, ඒ හරහා කිසිවකු එක් දිනක් හෝ ගමන් කර තිබුණේ නම්, යුද්ධයේ කටුකත්වය මනා ලෙස අත්විඳිය හැකිව තිබුණි. 

විශේෂයෙන්ම, එවක උතුරු නැගෙනහිර ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කළ බඩු භාණ්ඩ රාශියක් විය. පෙන්ටෝච් හා සාමාන්‍ය බැටරි, යූරියා, බයිසිකල් බෝල, ඉටිපන්දම් ආදි තවත් ද්‍රව්‍ය කිහිපයක් වෙනුවෙන් එලෙස සීමා පනවා තිබුණි. ඇතැම් ද්‍රව්‍ය පුද්ගල නාශක බෝම්බ, ක්ලේමෝ බෝම්බ ආදිය සෑදීම සඳහා කොටි සංවිධානය විසින් ප්‍රයෝජනයට ගන්නා බවට ලද තොරතුරු මත ආරක්ෂක පියවරක් ලෙස එම සීමා පනවා තිබුණි. කෙසේ නමුත්, බැටරි වැනි භාණ්ඩ පාවිච්චිය නවතාලීම නිසා විදුලි පන්දමක් දැල්වීමට හෝ ගුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියා කරවීමට පවා අවස්ථාවක් නොවීම හේතුවෙන් වැඩිපුරම පීඩා වින්දේ එහි සාමාන්‍ය ජනතාවයි. එසේම, එම ප්‍රදේශවල ක්‍රියාන්විත සේවාවන්හි නියැළි හමුදා සාමාජිකයන්ට ද එකී අවශ්‍යතා සිය නිවාඩුවකදී ඉටු කරගැනීම හැර, එම ප්‍රදේශවලින් සපුරා ගැනීමේ කිසිදු ඉඩක් නොවීය.

මුහුදු ගිය සෙබළු

සටන් බිමෙහි සැවොම එකම අරමුණක් වෙනුවෙන් කැප වුණ ද, ඒ ඒ සෙබළුන්ගේ පෞද්ගලික චර්යාවන් වෙනස්ය. ඇතැම් සෙබළු තුළ රාජකාරියේදී ඉතා යහපත් ගති පැවැතිය ද, ඇතැමුන්ගේ පෞද්ගලික ජීවිත බොහෝ අවුල් වියවුල් සහිත විය. ඇතැමුන් රාජකාරියේදී විවිධ දෝෂ දර්ශනයන්ට ලක්වූ නමුත්, පෞද්ගලික ජීවිත තුළ ඉතා යහපත්ය. නමුත්, එකල වැඩිපුරම සිටියේ මේ දෙකම සමබරව පවත්වාගෙන ගිය අයයි. යුද්ධය පැවැති සමයේ සටන්බිමට වුවමනා වූයේම නිර්භීත ගති ඇති, කැපවීමෙන් කටයුතු කරන පිරිසකි. වාසනාවට එවැනි භටයින් එකල හිඟ නොවුණි. එම කාලවකවානුවේ සෑම අයකුම පාහේ හමුදාවට එක්ව තිබුණේ ජීවිත අවදානම හා දුෂ්කරතා පිළිබඳ අවබෝධයෙන්මය. ඔවුන් එය විඳ දරාගෙන කටයුතු නොකළේ නම් අදට ද යුද්ධය ඉතිරිය.

සටන් බිමේ සෑම සෙබළකුම දැඩි අවදානම මැද කටුක දිවි පෙවෙතක් ගෙවූ නිසාම ඔවුනගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ, අවම කාලසීමාවකදී නිවාඩුවක් ලැබ තම නිවෙස්වලට යාමය. කෙසේ නමුත්, අවිවාහක නිලධාරීන් සෙබළුන් සැමටම එකල නිවාඩු සබැඳි ප්‍රතිපත්තිවලදී ලැබුණේ අවම අවධානයකි. විශේෂයෙන්ම, අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථාවකදී නම්, අවිවාහක අයකුට නිවාඩුවක් ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවූ තරම්ය. විවාහකයකුට මසකින් හෝ ඒ ආසන්න කාලසීමාවකදී නිවාඩු හිමි වුව ද, අවිවාහකයකුට එම කාලය දින 45 හෝ ඇතැම් විට මාස 2-3 හෝ ඊට වැඩි විය. (ඇතැම් ක්‍රියාන්විත ප්‍රදේශවල විවාහක අවිවාහක භේදයකින් තොරව මාස 3-4 හෝ ඊටත් වැඩි කල් යුද බිමෙහිම ගත කිරීමට තිබූ අවස්ථා ද තිබිණ.) සැබැවින්ම එය නොවැළැක්විය හැකි තත්ත්වයක් විය. විවාහක අවිවාහක සෑම හමුදා සාමාජිකයකුගේම අපේක්ෂාව, අවම කාලසීමාවකින් නිවාඩු යාම වුව ද, කලාතුරකින් තැනක සෙබළෙක් එලෙස නිවාඩු යාමේ වුවමනාවකින් පසු නොවූ අවස්ථා ද තිබිණ. ඇතැම් විට දෙමාපිය සහෝදර සහෝදරියන් නොමැතිව තම කිරිඅම්මා ළඟ හෝ වෙනත් අයකු සෙවණේ හැදී වැඩුණු, එසේත් නොමැති නම්, වෙනත් හේතුවක් මත නිවෙසට යාමේ අවශ්‍යතාවක් නොවූ එවන් සෙබළු රාජකාරියටම කැපවූවා මිස අවස්ථාවක් ලැබුණ ද, නිවාඩු ඉල්ලුම් කරන ලද්දේ ඉතා කලාතුරකිනි. සෙසු සෙබළු නිවාඩු වාර කිහිපයක් ගොස් පැමිණෙන විටත්, පෙර කී සෙබළු කඳවුරේම ගත කොට තිබූ අවස්ථා තිබිණ. 

ඒ අතරම, වෙනත් පෞද්ගලික සැලසුම් නිසාම හිතාමතා නිවාඩු පමා කරගත් සෙබළු ද සිටියහ. එකවර මාසික වැටුප් කිහිපයක් එකතු කරගෙන යාමට තිබූ වුවමනාව ඉන් ප්‍රධාන හේතුව විය. අද මෙන් එකල වැටුප් බැංකුවට බැර නොවූ අතර, එය මුදල් ලෙසම වැටුප් පත්‍රිකාවේම ඔතා සෑම සෙබළකුගේම අතට ලැබුණි. එසේම, ජනශුන්‍ය ප්‍රදේශවල හුදෙකලා කඳවුරුවල රාජකාරි කළ සෙබළුන්ට ඒ ආසන්නව වෙළෙඳසලක් හෝ නොතිබූ තත්ත්වයක් තුළ අතට ලැබෙන මුදල් වියදම් වූයේ නැත. 


එසේම, මෙහි වෙනත් පැත්තක් ද තිබිණ. එනම්, නිවාඩු මත හෝ වෙනත් ක්‍රමයකට නිරන්තරව ක්‍රියාන්විත බිමෙන් බැහැර වීමට උත්සාහ දැරූ සෙබළු ද වූහ. විවිධ පුද්ගලික හේතු දක්වමින් නිවෙසට යාමට හෝ බලෙන් අසනීපයක් සාදා ගනිමින් රෝහල්ගතව හෝ ක්‍රියාන්විත පරිසරයෙන් ඈත් වීම එවන් අයගේ අරමුණ විය. තව ද, නිවාඩු ගිය සෑම අවස්ථාවකදීම නියමිත දිනට කඳවුරට වාර්තා නොකර, දවසක් දෙකක් ඇබ්සන් වී පැමිණීමට පුරුදු වූ සෙබළු ද ක්‍රියාන්විතයේ සිටියහ. අත්‍යවශ්‍ය හෝ සාධාරණ හේතු මත නොව, පුරුද්දක් ලෙස එම තත්ත්වයට හුරු වූ එවැනි සෙබළුන්ට හමුදා රෙගුලාසිවලට අනුව කොතරම් දඬුවම් ලබාදුන්න ද, ඇතැමුන්ගේ සේවා කාලය මුළුල්ලේම එම ගති බැහැර නොවීය. එවන් අය දිගින් දිගටම දඬුවම් ලබමින්, කිසිදු නිල උසස් වීමක් හෝ නොලැබ ගත කරනු දැකිය හැකි විය. නමුත්, මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, ඇතැම් එවැනි සෙබළු ඉතා නිර්භීත එමෙන්ම ක්‍රියාන්විතවලදී පෙරමුණෙහි කටයුතු කරන අය වීමය. කෙසේ හෝ එවැනි සෙබළුන් නිවාඩු ගිය අවස්ථාවල ඔවුන් “මුහුදු ගියා වාගේ” යැයි හඳුන්වනුයේ, ඔවුන් යළි කෙදින කඳවුරට පැමිණෙන්නේ දැයි විශ්වාසයක් නොවූ හෙයිනි.

ජනප්‍රියම සෙබළු

සෑම කඳවුරකම පාහේ බොහෝ ජනප්‍රිය සෙබළු සිටියහ. ඔවුන් නිරතුරු විහිළු තහළුවෙන් කටකාර ලෙස කාලය ගත කරන බැවින්, කොතරම් අවදානම් අවස්ථාවලදී වුව එහි සිටියවුන්ට ගෙන දුන්නේ අස්වැසිල්ලකි. පාළුව කාන්සිය මගහරවා ගැනීම පිණිස තම පිරිස වට කරගෙන කවි කතා සීපද කියන්නට ඔවුහු රුසියෝය. විශේෂයෙන්ම, හඳ ඇති කාලවලදී රාත්‍රියේ අවදානම පහ වූ පරිසරයන්හිදී එවැනි සෙබළු වඩා ක්‍රියාශීලි වූහ. නමුත්, සිය වාරය එළැඹි පසු ඔවුන් නිවාඩු ගිය අවස්ථාවල කඳවුර පුරා දැනෙනුයේ පාළු ස්වභාවයකි. එබැවින්, යළි නිවාඩු අවසන ඔවුන් කඳවුරට පැමිණෙන තෙක් සෙසු පිරිස බලා සිටිනුයේ නොඉවසිල්ලෙනි. එසේම, ක්‍රියාන්විතයන්හි නියැළීමේදී සතුරු ප්‍රහාරවලට ලක්ව එවැනි සෙබළු මිය ගිය අවස්ථා ද කොතෙකුත් ඇත. එසේ වූ විට, කඳවුරේ සෑම අයකුගේම සිත්ගත් එවැනි සෙබළුන්ගේ අඩුව පුරවන්නට අන් කිසිවකුට නොහැකි වේ. ක්‍රියාන්විත අත්දැකීම් ඇති ඕනෑම අයකුට එවැනි සෙබළුන්ගේ නම් ගම් පවා අදට ද මතක ඇතුවාට සැක නැත.

සිගරැට් බණ්ඩල්

යුදමය කාලසීමාවේදී ක්‍රියාන්විතයන්හි නියැළි ආරක්ෂක අංශක සාමාජිකයන් වෙත මසකට සිගරැට් (ගෝල්ඩ් ලීෆ්) බණ්ඩලය බැගින් ද හිමි විය. ක්‍රියාන්විත සේවාවන්හි නියැළි අයට පමණක් හිමි වූ එම විශේෂ වරප්‍රසාදය යුද වැද සිටි සියලු රණවිරුවන්ට ඉමහත් ආස්වාදජනක ධෛර්ය සම්පන්න එකකි. එසේම, මාස්පතා ලැබෙන සිගරැට් බණ්ඩල් කිහිපයක් එකතු කර එකවර රැගෙන යෑමේ වුවමනාව මතම තම නිවාඩු සීමා කරගත් සෙබළු ද සිටියහ. එසේම, එලෙස නොමිලේ ලැබෙන සිගරැට් බණ්ඩලයම සති කිහිපයක් තුළ කඳවුරේදීම පානය කොට අවසන් කරන සෙබළු ද ඒ අතර නැතුවා නොවේ. නමුත්, වැඩි දෙනකු සිදුකරන ලද්දේ එසේ එකතු වන සිගරැට් බණ්ඩල තම නිවාඩුවේදී ගමේම හිතවත් කඩයකට ලබා දී, එය මුදල් කරගැනීමය. විශේෂයෙන්ම, එලෙස සෙබළුන් හරහා ලැබෙන සිගරැට් බණ්ඩල අඩු මුදලකට මිලදී ගැනීම සඳහා එම කඩ හිමියෝ ද එලෙස සැදී පැහැදී සිටියහ. පසු කාලීනව ආරක්‍ෂක අංශ සාමාජිකයන් දුම් පානය අවම කිරීමේ අවශ්‍යතාව මත නොමිලේ සිගරැට් ලබා දීම නවත්වා, ඒ වෙනුවට ඊට අදාළ මුදල වැටුපට එකතු කිරීමට කටයුතු කෙරිණ.

අලි කෙඳි සෙවීම

ආරක්ෂක අංශ සාමාජිකයන් අතර අලි කෙඳි පිළිබඳ එවක පැවැතියේ මහත් උනන්දුවකි. අලි කෙඳි යොදා සෑදූ මුදු, බ්‍රේස්ලට් ආදිය පැලඳීම ඔවුන් අතර සුලබ විය. එමගින් කිසියම් ආරක්ෂාවක් සැලසෙන බවට වූ මතයක් ද එය ආඩම්බරය දනවන මෝස්තරයක් ද වූ හෙයින්, එලෙස හමුදා සාමාජිකයන් අතර අලි කෙඳි භාවිතය පැතිරීමට හේතු වූයේය. එකල අලි කෙඳි සෙවීම තරගයක් සේ වූ අතර, ඒවා යොදා සෑදූ බ්‍රේස්ලට්, මුදු ආදිය මා රාජකාරි කළ නැගෙනහිර ප්‍රදේශයේ වූ පොළොන්නරුව, කදුරුවෙල රන් බඩු සාප්පුවල අලෙවියට ද තබා තිබුණා මතකය. ඇතැම් භට පිරිස් හොර රහසේ අලි කෙඳි සෙවීමට ගොස් ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්ව, අවසන් මොහොතේ දිවි බේරාගෙන පැමිණි අවස්ථා ද තිබිණ. යුද බිමෙහි කොටි සමග (ත්‍රස්තවාදීන් සමග) මෙන්ම අලි සමග ද වෙනම අරගලයක නිරත වන්නට ද ඇතැම් ක්‍රියාන්විත පෙදෙස්වල භට පිරිස්වලට සිදු විය. භූමියේ ක්‍රියන්විතවල නියැළීමේදී වන අලි නිසාම රහස්‍යභාවය තබා ගැනීමට නොහැකිව දැඩි අවදානම් අවස්ථාවලට මුහුණපෑමට සිදු වූ වාර බොහෝය. විශේෂයෙන්ම කැලෑබද ප්‍රදේශවල රාජකාරි කිරීමේදී ආරක්ෂක හමුදාවලට එවැනි තත්ත්වවලට මුහුණ දීමට සිදු විය. එසේම, එලෙස වන අලි කරදරයක් ක්‍රියාන්විත බිමේ සෑම තැනකම නොතිබූ අතර, බොහෝ ප්‍රදේශවල වන අලියෙක් ආසාවට හෝ දැක ගන්නට නොවීය. 

- තව කොටසක් ලබන සතියේ -

 

 



අදහස් (0)

දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 18 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 9 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 23 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 72 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site