නිරවි යුද සමයේ, ඇමෙරිකාවත් සෝවියට් දේශයත් එකිනෙකාට තම බල පුළුවන්කාරකම් පෙන්වමින්, අභ්‍යවකාශයත්, සඳ තරණයත් ඉලක්ක කරගනිමින් තරගයකට අවතීර්ණ විය. පළමු ජය සෝවියට් දේශයට අත්කර දෙමින් පළමුවෙන් අභ්‍යවකාශයට ගියේ සෝවියට් දේශයේ යූරි ගගාරීන් ය. ඒ, 1961 වසරේ අප්‍රේල් 12 වැනිදාය. ඊට මාසයකට පසු පළමු ඇමෙරිකන් ගගනගාමියා අභ්‍යවකාශයට ගියේය. ඔහු ඇලන් ෂෙපර්ඩ් ය. ෂෙපර්ඩ් අභ්‍යවකාශයට ගියේ 1961 මැයි 5 වැනිදාය. අභ්‍යවකාශයත්, සඳ තරණයත් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති තරගය නිමා වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය.
පළමු මිනිසුන් දෙදෙනා අභ්‍යවකාශයට ගොස් වසර 60කට පසු, අතමිට සරු නම් ඕනෑම කෙනකුට අභ්‍යවකාශ සවාරියක් යෑමට අවස්ථාවක් අද (11) සිට උදාවනු ඇත. මෙසේ අභ්‍යවකාශයට යෑමට, මාස ගණනක් හෝ අවුරුදු ගණනක් හෝ ගගනගාමියකු ලෙස පුරුදු පුහුණු වීමක් අවශ්‍ය වන්නේ ද නැත. අවශ්‍ය මුදල් පමණි. ආසනයක් වෙන් කරගැනීමට හැකි නම්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු අභ්‍යවකාශයට ගොස් ආපසු එන්නට පුළුවන.
අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් ‘කාර්මාන් සීමාව’ පසු කිරීමය. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැති නම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. ‘කාර්මාන් සීමාව’ එනමින් හැඳින්වෙන්නේ හංගේරියානු ඇමෙරිකානු ගගන ඉන්ජිනේරුවකු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන තියෙඩෝර් කර්මාන් (1881-1963) ගෞරව කිරීමක් ලෙසය. පෘථිවි වායුගෝලයේ ස්වභාවය, එහි ඝනත්වය ගැන නිවැරැදිව තොරතුරු ඉදිරිපත් කළ විද්‍යාඥයා ලෙස පිළිගැනීමකට ලක් වූ තැනැත්තා තියෙඩෝර් කර්මාන් ය. ‘කාර්මාන් සීමාව’ පසු කරද්දී, ශුන්‍ය ගුරුත්වයේ බලපෑම දැනෙයි. සියලු දේ පාවීමට පටන්ගනී. මෙම අපූරු අත්දැකීම විඳ ගැනීම සහ ඉහළ සිට නිල්වන් පෘථිවිය සියැසින් දැක ගැනීම ගගන සංචාරවල අරමුණ වෙයි. ත්‍රාසජනක අත්දැකීමක් ලබාගත හැකි මෙම අභ්‍යවකාශ සංචාර, මිනිත්තු 10කට හෝ 12කට සීමා වෙයි.
අභ්‍යවකාශයට යන වයස්ගතම තැනැත්තිය වොලී ෆන්ක් සහ බෙසෝස්
අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය කරමින්, පෞද්ගලික සංචාර ආරම්භ කරමින්, උඩු ගුවනට යෑමට වර්තමාන ලෝකයේ බිලියනපතියෝ තිදෙනෙක් ලොකු තරගයක පැටලී සිටිති. මොවුන් තිදෙනාගෙන් එක් අයකු අද (11) එම තරගය ජයග්‍රහණය කිරීමට නියමිතය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික 70 හැවිරිදි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ය. බ්‍රැන්සන්ට අභියෝග කරන අනෙක් බිලියනපතියන් දෙදෙනා වන්නේ ජෙෆ් බෙසෝස් සහ ඊලෝන් මස්ක් ය. ජෙෆ් බෙසෝස් යනු ඇමසන් සමාගමේ හිමිකරුය. ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන ‘වොෂින්ටන් පෝස්ට්’ අයිති වන්නේ ද ඔහුටය. දකුණු අප්‍රිකාවේ උපන් ඇමෙරිකානුවකු වන ඊලෝන් මස්ක්, ‘ටෙස්ලා’, ‘ස්පේස් එක්ස්’ ඇතුළු සමාගම් රැසක හිමිකරුය. මේ වනවිට ඇමෙරිකා නාසා ආයතනය සමඟ එක්වී, අභ්‍යවකාශ ගමන් බිමන් සැලසුම් කරන්නේ ‘ස්පේස් එක්ස්’ සමාගමය.
අභ්‍යවකාශ සංචාර ආරම්භ කරමින් පළමුවෙන් උඩු ගුවනට යන්නේ තමන් බව ජෙෆ් බෙසෝස් නිවේදනය කළේ මීට මාස කිහිපයකට පෙරය. බෙසෝස්ගේ එම ගමන මෙම ජුලි මස 20 වැනිදාට යෙදී තිබේ. එහෙත්, කවුරුත් පුදුමයට පත් කරමින්, රිචඩ් බ්‍රැන්සන් කියා සිටියේ තමන් ඊට කලින් තමන්ගේ වර්ජින් ගැලැක්ටික් සමාගමේ අභ්‍යවකාශ සංචාරය ආරම්භ කරන බවය. අද (11) බ්‍රැන්සන් ඇතුළු ගගනගාමී සංචාරකයන් හය දෙනකු ගුවන් යානයක් වැනි හරි අපූරු යානයකින් අභ්‍යවකාශයට ගොස් ආපසු පෘථිවියට පැමිණීමට නියමිතය. ඒ අනුව, අද (11) සිදුවන මෙම වික්‍රමය පෞද්ගලික ගගන සංචාරවල ආරම්භය සනිටුහන් කරනු ඇත.
බ්‍රැන්සන් සහ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යවකාශයට යන්නේ එම සමාගම වසර ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිපදවා ඇති ‘වර්ජින් ගැලැක්ටික් යුනිටි’ නමැති යානයේ ආධාරයෙනි. බ්‍රැන්සන් මෙම ගමනට එක් වන්නේ එය කොතරම් ආරක්ෂිතදැයි ලොවට තහවුරු කරමිනි. වර්ජින් ගැලැක්ටික් යුනිටි අභ්‍යවකාශ යානය උඩු ගුවන බලා යන්නේ පැයට සැතැපුම් 2,000ක (මැක් 2.7ක) වේගයකිනි. මේ වනවිටත් වර්ජින් ගැලැක්ටික් සමාගමේ අනාගත අභ්‍යවකාශ චාරිකාවලට එක්වීමට ආසන වෙන් කරවාගැනීමට ලෝක ධනවතුන් 600ක් කැමැත්ත පළ කර ඇත. ජනප්‍රිය හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් පවා ඒ අතරේ සිටී. ආසන වෙන් කරගැනීම කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 250,000ක් ගෙවමිනි. වර්ජින් ගැලැක්ටික් සමාගමේ මෙම යානයේ නියමුවන් දෙදෙනාට අමතරව මගීන් 6 දෙනකුට ආසන තිබේ. සෑම මගියකුටම පිටත නරඹන්න විශාල කවුළු ඇත. ඒ, එකක් පැත්තෙන් හා එකක් ඉහළින් ආදී වශයෙනි. අභ්‍යවකාශ යානය අඩි 60ක් දිගය. ශුන්‍ය ගුරුත්වයේ දී පාවෙන විට, ඒ අත්දැකීමත් හොඳ හැටි විඳගත හැකි වන ආකාරයට.
අද දිනයේ අභ්‍යවකාශයට යන බ්‍රැන්සන් ඇතුළු කණ්ඩායම නම් කර ඇත්තේ ‘යුනිටි 22’ යනුවෙනි. මෙම කණ්ඩායට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් අතර, එයින් එක් අයකු ඇමෙරිකානු ඉන්දීය තරුණියක වීම විශේෂත්වයකි. ඇය ශ්‍රීෂා බණ්ඩාලා ය. මෙය ඉන්දියානුවන් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් වී ඇත. ශ්‍රීෂා ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙළිඟු බස කතා කරන යුවතියකි. ඇය හැදී වැඩුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් නගරයේය. ශ්‍රීෂා වර්ජින් ගැලැක්ටික් සමාගමේ රාජ්‍ය කටයුතු සහ පර්යේෂණ මෙහෙයුම් කටයුතු සම්බන්ධ උප සභාපතිනියයි.
“ශ්‍රීෂා බණ්ඩාලා නිර්භීත කෙනෙක්. තීරණ ගැනීමේදී ඇය පසුබට වෙන්නේ නැහැ. නිවැරැදි දැක්මක් ඇයට තිබෙනවා. ඇය පුංචි කාලයේ පටන් අහස ගැනත් අභ්‍යවකාශය ගැනත් උනන්දුයි. අභ්‍යවකාශයට යෑම ඇගේ සිහිනයක්. දැන් ඒ සිහිනය සැබෑවක් වේවි. තවත් පස් දෙනකු සමඟ ඇය අභ්‍යවකාශයට යනවා. මා ඇයට සුබ පතනවා. ඇගේ පවුලේ අප සැමෝම ඇයට සුබ පතනවා. ඇය සහ ඇගේ කණ්ඩායමේ ගමන සාර්ථක වේවි” යැයි ශ්‍රීෂාගේ සීයා, ආචාර්ය රාජියා ඉන්දියාවේ ඒ.එන්.අයි. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. ශ්‍රීෂාගේ සීයා ජීවත් වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගන්තූර් දිස්ත්‍රික්කයේය.
අද දිනයේ අභ්‍යවකාශයට යන බ්‍රැන්සන් ඇතුළු කණ්ඩායම
කල්පනා චෞලාගෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ තරුණියක අභ්‍යවකාශයට යෑම ඉන්දියාවට මහත් ආඩම්බරයකි. ඒ අනුව, චෞලාගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට යන්නේ ශ්‍රීෂා බණ්ඩාලා ය. ඉන්දීය සම්භවයක් ඇති, ඇමෙරිකාවේ උපන් රාඛේෂ් ශර්මා සහ සුනීතා විලියම්ස් ද අභ්‍යවකාශයට ගිය සෙසු ඉන්දියානුවන්ය. ට්විටර් ගිණුම සමඟ සම්බන්ධ වී අදහස් දක්වමින්, ශ්‍රීෂා කියා සිටියේ ‘යුනිටි 22’ කණ්ඩායමේ සාමාජිකාවක වීමට ලැබීම තමන්ට ලොකු ගෞරවයක් බවය. ලොව සැමට අභ්‍යවකාශයට යන්න මඟ පෙන්වන වර්ජින් සමාගමේ කොටස්කාරියක් වීම ගැනත් තමන් අතිශය සතුටට පත්වන බව ද ඇය ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති චන්ද්‍රබාබු නයිඩු ද අභ්‍යවකාශය බලා යන රිචඩ් බ්‍රැන්සන්, ශ්‍රීෂා ඇතුළු ‘යුනිටි 22’ කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ද පළ කරමින් ට්විටර් පණිවුඩයක් පළ කළේය. ඒ ඔවුන්ට සුබ පතමිනි. බ්‍රැන්සන්, ශ්‍රීෂා බණ්ඩාලා ඇතුළු කණ්ඩායම අද (11) අභ්‍යවකාශය බලා යන්නේ ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සිටය.
ඇමසන් ප්‍රධානි බෙසෝස් ජුලි 20 වැනිදා, සිය අභ්‍යවකාශ ගමන ආරම්භ කිරීමට තෝරාගෛන ඇත්තේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳට පය තැබුවේ ජුලි 20 වැනිදා දිනයක නිසාය. බෙසෝස්, අභ්‍යවකාශයට සංචාරකයන් රැගෙන යෑම සිදු කරන්නේ ඔහුගේ අභ්‍යවකාශ සමාගම වන බ්ලූ ඔරිජින් ආයතනය නිපදවා ඇති ‘නිව් ෂෙපර්ඩ්’ ගගන කැප්සියුලය සහ රොකට්ටුව ආධාරයෙනි. ‘නිව් ෂෙපර්ඩ්’ යානය එනමින් නම් කර ඇත්තේ ඇලන් ෂෙපර්ඩ් ට ගරු කිරීමක් වශයෙනි.
බෙසෝස් ලබන 20 වැනිදා ගමනට තවත් තිදෙනකු හවුල් කරගනී. එයින් එක් අයකු ඔහුගේ සොහොයුරා මාර්ක් ය. අනෙක් තැනැත්තා සුවිශේෂී අයෙකි. ඇය 82 හැවිරිදි වොලී ෆන්ක් ය. වොලී ෆන්ක් මෙම ගමනට එක්වන්නේ බෙසෝස්ගේ විශේෂ ආරාධනාවක් පිළිගෙනය. වොලී දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියක යැයි මාධ්‍ය ඇය හඳුන්වා දෙමින් කියා සිටී. ඒ අනුව, අභ්‍යවකාශයට යන වයස්ගතම පුද්ගලයා වනු ඇත්තේ ද මැයයි. බෙසෝස් සමඟ ජුලි 20 වැනිදා අභ්‍යවකාශ ගමනට එක්වන සිවුවැනියා ද කෝටිපතියෙකි. ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 28ක් ගෙවා ආසනයක් වෙන් කරගත්තේය. ඔහු කවුරුන්දැයි තවමත් අනාවරණය වී නැත. රටවල් 136කින් ප්‍රකෝටිපතියන් 5,200ක් ලංසු ඉදිරිපත් කර තිබුණි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක
උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පි
චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක.
මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිස
1998 වර්ෂයේ “නගරයට ආ මුවැත්තිය” හා 2003 වර්ෂයේ “නිශ්ශබ්ද” ලෙසින් කාව්‍ය කෘති දෙකක් ජනගත කළ අනුර කේ. එදිරිසූරිය විසි වසරක දිගු නිහැඬියාවකට පසු “ආදර වස්තුවක්
ක්‍රීඩා සමාජ 12 ක පමණක් සහභාගිත්වයෙන් අවසන් වරට (2022-25) පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හයියක් නොතිබුණ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධනවතුන් 6000 ක් අහසට යන්න පෝලිමේ