IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


නව පරපුරට ගොවිකම උගන්වන ගොවියෙක්

දීර්ඝකාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂි කර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරමාර්ථය ඇතිව බිහිවිය. කෘෂිකාර්මික කටයුතු ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූයේ, විජය කතා පුවතින් පිළිබිඹු වන ඉන්දියානු ජන සංක්‍රමණ වලින් පසුව - එනම් ක්‍රි.පූ. 6 වැනි ශතවර්ෂයෙන් පසුව බව සාම්ප්‍රදායික කෘෂිකර්ම ඉතිහාසයේ දැක්වෙන අදහස වේ. ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ - ශ්‍රී ලංකාවාසීන් ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත්, අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වීමත් නිසාය. 
 
හේන - කුඹුර - කමත හා පැල ආශ්‍රිතව ගොවි බිමේ ගොවි කටයුතුවල නිරත වූ අතීත ගොවියා විසින් තම කෘෂි නිෂ්පාදන අවශ්‍යතාවලට සුදුසු වන පරිදි ගොවි උපකරණ නිපදවා ගනු ලැබුවේ එම පරිසරයෙන්ම ලබා ගත් අමුද්‍රව්‍ය වලිනි. මේ සඳහා පාරම්පරික තාක්ෂණ ඥානය ඈත අතීතයේ සිටම, පරපුරෙන් පරපුරට දායාද විය. මේ ආකාරයෙන් ඔවුන් විසින් නිපදවනු ලැබූ කෘෂි උපකරණ ඒකක සංඛ්‍යාව දහස් ගණනකි. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව හා සමගින් යාන්ත්‍රික මට්ටමින් ලෝහමය උපකරණ නිපදවීමත් සමග පරිසරයෙන් ලබා ගත් අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් දේශීය උපකරණ අභාවයට යමින් පවතී. 
 
ඉපැරණි වී ගොවිතැන හා ඒ සම්බන්ධ උපකරණ ද, තම ප්‍රදේශයේ අභාවයට ගොස් ඇති දේශීය කර්මාන්ත පිළිබඳව තොරතුරු ද, ඉදිරිපත් කරමින් ස්වෙච්ඡාවෙන්ම ප්‍රදර්ශනයක් සිදු කරන ගොවි මහත්මයෙකු “ඉරිදා ලංකාදීප” ට හමු විය. කළුතර දිස්ත්‍රික්කයේ කුඩා ගෝනදූව නම් ගම්මානයේ පදිංචි ඔහු නමින් සමන් ප්‍රියන්ත පෙරේරා ය. පාසැල් සිසු දරු දැරියන්ට මෙන්ම වැඩිහිටි පරම්පරාවටත් දැනුමක් ලබාගත හැකි එම ප්‍රදර්ශනය, සාම්ප්‍රදායික දැක්මකින් එහා ගිය වියැකෙමින් යන අපේ දේශීය කෘෂි කර්මාන්තය පිළිබඳ තොරතුරු එක් තැන් වූ දැනුම් පාරාදීසයක් විය.
 
“මම ජීවත් වන ගම්මානය කෘෂි කාර්මික ගම්මානයක්. ඒ වගේම ඈත අතීතයේ සිට පැවත එන විවිධ කර්මාන්තත් තිබුණා. අද වෙන විට ඒ සියල්ලම අභාවයට ගිහින්. මගේ තාත්තාත් හොඳ ගොවියෙක්. ඒ නිසා මට කුඩා කල පටන්ම ගොවිතැන පිළිබඳ අත්දැකීමක්, ආදරයක් තිබුණා. අපේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළේ අමුතු ආකාරයකට. ඒ ගොවිතැන් කළ ආකාරය, පාවිච්චි කළ ගොවි උපකරණ හා අපේ ගම් ප්‍රදේශයේ තිබුණු, දැනට අභාවයට ගිහින් තිබෙන කර්මාන්ත තමයි මේ ප්‍රදර්ශනයෙන් මම ඉදිරිපත් කරන්නෙ. මම පූර්ණ කාලීනව කළේ ගොවිතැන යි. මේ ප්‍රදර්ශන වැඩ කටයුතු පටන් ගත්තේ දැනට අවුරුදු එකහමාරකට කලින්. ඊට පෙර උපකරණ එකතු කරගන්නත්, කර්මාන්ත සිදුවන හැටි ආකෘති වලින් නිරූපණය කරන්න රූප ඇඹීමටත් අවුරුද්දක් වගේ කාලයක් ගත වුණා. මේ සෑම දෙයම කරන්න මට ලක්ෂ 4 ක වගේ වියදමක් ගියා.”
 
“අපේ ප්‍රදේශයේ ගොවිතැන අපේ පරම්පරාවෙන් පස්සේ නැවතිලා තිබෙන්නෙ. ගමේ අක්කර 800 ක විතර කුඹුරු සියල්ලක්ම පුරන් වෙලා. දැන් ඉන්න පොඩි ළමයි, තරුණ ළමයි අපි ගොවිතැන් කළ විදිහ දැකලා නැහැ. ඒ ගැන දන්නේ නැහැ. පොත පතින් කියලා දෙනවට වඩා, ඒවා ප්‍රායෝගිකව ඒ උපකරණ දකින්න සලස්වලා තේරුම් කරලා දෙන්න ඕන.” 
 
“ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ගොවි උපකරණ මගේ පවුලේ පරම්පරාවෙන් පැවත ආව ඒවත්, ගමේ විවිධ පිරිස් පාවිච්චි කරලා ප්‍රදර්ශනය වෙනුවෙන් ගෙනවිත් දුන්නු උපකරණත් තිබෙනවා. කෘෂි කර්මාන්තයට අමතරව අපේ ගමට විශේෂිත වූ කර්මාන්ත ගණනාවක්ම ඈත අතීතයේ පටන් පැවත ආවා.  එම කර්මාන්ත රූප ආකෘති වලින් හදලා ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රූප ආකෘති හදලා තිබෙන්නේ සිමෙන්ති, යකඩ හා ලී දඬු උපයෝගි කර ගෙනයි. මේ රූප ආකෘති මම සැලසුම් කළා, ඉන් පසුව රූප ඇඹීමේ කටයුතු සිදුකළේ,  අමරසිරි අයියා.”
 
“මුලින්ම මම ගිය වසරේ දී වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ දී ප්‍රදර්ශනය තියලා සිසු දරු දැරියන්ට නරඹන්න ඉඩසලසලා දුන්නා. ඒ ප්‍රදර්ශනය නම් කළේ, ‘අතීත හෙළයාගේ වී ගොවිතැනේ අසිරිය’ කියලයි. එහි දී මම ප්‍රදර්ශනය කළේ ඉපැරණි ගොවි උපකරණ පමණයි. මෙය සාර්ථක ප්‍රදර්ශනයක් වුණා. පසුව තමයි අපේ ප්‍රදේශයේ ඉපැරණි අනෙක් කර්මාන්ත කටයුතු හා එහි පාවිච්චි කළ උපකරණ පිළිබඳව පෙන්වන්න තීරණය කළේ.
 
පසුගිය දිනෙක සමන් ප්‍රියන්ත තම ගම් ප්‍රදේශයේ ප්‍රදර්ශනයක් කළේය. ඒ තම ගමේ පන්සල වන කුඩා ගෝනදූව උත්තරචේතියාරාම විහාරස්ථානයේ ධර්මශාලාවේ ය. තම ගම් ප්‍රදේශයේ පමණක් නොව පිට ගම් පළාත්වල පාසල් සිසු දරුදැරියන් වැඩිහිටියන් ද මේ ප්‍රදර්ශනය දැක බලාගැනීමට පැමිණියහ. මෙම ප්‍රදර්ශනය සමන් ප්‍රියන්ත නම් කර තිබුණේ, ‘අපේ උරුමයක අසිරිය’ යනුවෙනි. මෙම ප්‍රදර්ශනයේ දී තම ප්‍රදේශයේ ඉපැරණි වී ගොවිතැන හා ඊට අදාළ උපකරණ වලට අමතරව ගමේ තිබුණු ඉපැරණි කර්මාන්ත වන වඩු, පෙදරේරු, රබර් කිරි කැපීම,  කබොක්, පොල් රා, පන් හා මිරිදිය කර්මාන්ත වැනි කර්මාන්ත ගැනත් එහි භාවිත කළ උපකරණත් ප්‍රදර්ශනය කරන ලදී. එය ද ඉතා සාර්ථක ප්‍රදර්ශනයක් විය.
 
 
භූමිය අනුව ගොවිතැන් කරන ආකාරය විවිධ සාධක මත රඳා පවතී. භූමියේ ස්වභාවය, දේශගුණය, ජල සම්පාදනය සහ වගා කිරීමට අවශ්‍ය භෝග වර්ග අනුව ගොවිතැන් ක්‍රම වෙනස් වේ. සමන් ප්‍රියන්ත  ප්‍රකාශ කරන ආකාරයට ගෝනදූව ගම්මානයේ කෘෂි කර්මාන්ත කටයුතු සිදු වූයේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව වෙනස් අයුරිනි. ඒ පිළිබඳව සමන් ප්‍රියන්ත සඳහන් කළේ මෙවැන්නකි. 
“අපේ ගමේ ගොවිතැන් කටයුතු කළේ අමුතුම ක්‍රමයකට. මෙහෙ භූමිය මුහුදු මට්ටමට වඩා පහතයි. එතකොට කුඹුරුවලට වතුර බස්සන්න ක්‍රමයක් නැහැ. ඇළවල් වලින් කැපුවට වතුර බහින්නේ නැහැ, ගලාගෙන යාමක් නැති නිසා. ඒ නිසා තමයි වතුර බහින්න යොතු එහෙම පාවිච්චි කළේ. පැරන්නන් යොතු හදලා තිබෙන්නේ ගස්වල බිල හාරලා. අපි කුඹුරුවල වතුර ඉහලා තමයි වැපිරුවෙ. වතුර වැඩි කාලයට නියර මට්ටමට වතුර ආවට පස්සේ හරක් දාලා කුඹුර බොර කරලා තමයි අපි වී ඉස්සේ. එහෙමයි වී වැපිරුවේ. ඒකට කියන්නේ දිය මාරාවට වී වැපිරීම කියලා. එහෙම වපුරන වී සතියක් පමණ ගියාට පස්සේ පැළ වෙනවා. ඒ වී ගහක් අඩි 5 ක් 6 ක් විතර උසයි. මේ වී ශක්තිමත් කඳක් හා දිග කරල් කඩකින් ද සමන්විත වෙනවා. ඒවාට කියන්නේ මාදුළුවා වී කියලා. මේ වී වර්ගය ඕනෑම පරිසර තත්ත්වයකට මුහුණ දීමේ සුවිශේෂි ගුණයක් තිබෙනවා. දැන් ඒ වී හොයා ගන්නත් නැහැ. ඊට අමතරව හාටියාල්, හුරනවාලු‍, දෙවරද්දිලි හා පොක්කාලි කියන ප්‍රදේශයට ආවේණික වී වර්ගත් තිබුණා.” 
 
“අපි වපුරන්නේ කුඹුර මඩවලා. හරක් දාලා මඩවන කොට හරක් කකුල තබන රිද්මයට අනුව කූරය අස්සෙන් හියුමස් තට්ටුව උඩට එනවා. අපි කුඹුරු කරද්දි පොහොර ගැහුවේ නැහැ. ඒ තරම් අපේ කුඹුරු පොහොරයි. බණ්ඩිය සවුත්තු වුණොත් විතරයි පොහොරක් ගැහුවෙ. අද කාලයේ ට්‍රැක්ටර් දාලා වපුරද්දි වෙන්නෙ, උඩ පස යටට යනවා විතරයි.”
 
“ඒ කාලෙ ඉඳලා පාවිච්චි කළ උපකරණ මං ළඟ තිබෙනවා. දැන් ඉන්න පරම්පරාව ඒ උපකරණ ගැන අහලා නැහැ, ඒ උපකරණ වලින් වැඩ ගත්ත විදිහ දන්නෙ නැහැ. ඒ නිසා තමයි රූප හදලා උපකරණ පාවිච්චි කළ ආකාරය පෙන්වලා තිබෙන්නෙ. එමෙන්ම එයට අදාල විස්තර කෙටියෙන් සාරාංශ කරලා ළමුන්ට වගේම වැඩිහිටියන්ටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයට ලියලා තිබෙනවා. හාන විදිහ, මඩවන විදිහ සහ ගොයම් කපන විදිහ වගේ එක එක ක්‍රම තිබුණා. ඒ ක්‍රම ටිකත් ප්‍රදර්ශනයේ දී අඹන ලද රූප වලින් පෙන්වනවා.”
 
“ඉස්සර කුඹුරට එන කුරුල්ලන්ට වෙන්කරනවා පොඩි කුඹුරෙන් කුඩා කොටසක්, ඒකට කියන්නේ කුරුලු පාළුව කියලා. මෙහි අරමුණ වුණේ, කුරුල්ලන්ට ආහාර ලබා දීම හා ගොවි බිම්වල කෘමීන් පාලනය කිරීමට සහාය ලබාගැනීම, ගොවින්ට කුරුල්ලන් ගෙන් කෘමීන් පාලනය කර ගැනීමටත් උපකාරී වෙනවා. ඒවගේම තමයි කමතේ දී හා කෙතේ දී කමත් භාෂාවෙන් කියන්නේ මොකක්ද කියලා හැම දේම රූප අඹලා පෙන්වලා තියෙනවා. ඒ වගේම එහි අරුත දක්වලා මුද්‍රණය කළ සාරාංශ ගත සටහනකුත් දක්වලා තිබෙනවා. ඒ නිසා මෙම ප්‍රදර්ශනය නැරඹීමට එන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා. විශේෂ තැන්වල දී මමත් අදාළ දේ ගැන විස්තර කථනයක් ඉදිරිපත් කරලා තේරුම් කරලා දෙනවා.”
 
තම ගම් ප්‍රදේශයේ කුඹුරු පුරන්වීමට බලපෑ හේතු ලෙස සමන් ප්‍රියන්ත සඳහන් කළේ මෙවැන්නකි.
 
“අපේ ගමේ කුඹුරු ඉඩම් පුරන්වීමටත්, ගොවියා ගොවිතැනින් ඈත් වීමටත් හේතු කීපයක්ම තිබෙනවා. මූලික වශයෙන්ම කළු ගඟ හරස් කරලා තමයි පනාපිටියේ වේල්ල හදලා තිබෙන්නෙ. එතැනින් තමයි අපේ කුඹුරුවලට කැප්පු ඇළ දිගේ වතුර ආවේ. මෝය වෙනස් වීමත්, වැලි ගොඩ දැමීමෙන් ගඟ හෑරීමත් නිසා ප්‍රධාන කළු ගඟ දැන් පහත් වෙලා තිබෙන්නෙ. මේ නිසා කැප්පු ඇළේ වතුර ගලාගෙන යාමක් නැති නිසා ගඟ සම්පූර්ණයෙන්ම අවහිර වෙලා. මේ නිසා අපේ කුඹුරු භූමියයි  ගඟයි එකම මට්ටමේ තිබෙන්නෙ. එතකොට වතුර ඉහලවත් බස්සන්න බැහැ. ඉස්සර පායන කාලෙට කුඹුරු හිඳෙනවා. දැන් එහෙම නැහැ. 70 ගණන්වල අපේ වෙල් යාය සම්බන්ධ කරලා ස්වයංක්‍රීය දොරවල් තුනක් දාලා තිබුණා. එතකොට මෙහෙ වතුර මට්ටම අදාළ ප්‍රමාණයට ආවට පස්සේ ඒ දොරවල් වැහෙනවා. වතුර අඩුවෙද්දි ඇරෙනවා. දැන් ඒ දොරවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහින්.
 
 
අපේ සීයාලා ගේ තාත්තාලා ගේ කාලයේ එහෙම ලී සහ බඩු අරගෙන ගියේ පාරුව සහ පහුරුවල ය. මම කුඩා කාලයේ දී පහුරු මගින් ලී අරගෙන ආවා. ඒ වගේම තමයි රත්නපුරේ ඉඳන් අපේ ගඟ හරහා තමයි මොරටුවට ලී අරන් ගියේ. වතුර ගලාගෙන යාමක් නැතිව පාරු පදින්න බැහැ. අපේ කාලය වෙද්දි පාරු තිබුණේ නැහැ. පහුරු තමයි තිබුණේ. වඩදිය අල්ලලා තමයි පහුර හදන්නෙ. එයින් තේරුම් ගන්න පුළුවන් නේද ගඟේ වතුර ගලාගෙන ගිය ආකාරය.
 
ප්‍රදර්ශනයේ දී සමන් ප්‍රියන්ත ගොවි උපකරණ ප්‍රදර්ශනය කර ඇත්තේ ඒවා අතීතයේ සිට විකාශනය වූ අනුපිළිවෙළටය. එය අදාල උපකරණය සංවර්ධනය වූ අන්දම මනාව තේරුම් ගැනීමට පහසුය.
 
“ගෙඩි යොත්ත විකාශනය වෙලා ඇවිත් එක කාලයක දී බිලයක් හදලා ඊට පස්සේ ඒ බිලයට පිටින් මිට වෙනම සම්බන්ධ කරනවා. අවසන්  කාලයේ දී පෙට්ටි යොත්ත කියලා ලී වලින් හතරැස් හැඩයට නිර්මාණය කරලා තිබෙනවා. එය වැඩ කරන එක එක ගොවියන් ගේ උස අනුව ලණුව මගින් ඉස්සීමට පහසු ආකාරයෙන් සකස් කර ගන්නත් පුළුවන්. ඒ වගේම දැන් හොයා ගන්නවත් නැති වී වර්ග වගේම එම වීවල විශේෂ ලක්ෂණත් වෙන වෙනම විස්තර සහිතව නරඹන්න අවස්ථාව සලසලා තිබෙනවා. මීට අමතරව ගමේ පැරණි කර්මාන්තවල සම්බන්ධ කවි එහෙමත් දක්වලා තිබෙනවා.” 
 
“මම හිතන්නේ වර්තමානයේ ඉතිරි වෙලා තිබෙන කෘෂි කර්මාන්තයවත් බේරාගෙන ඉදිරියට කටයුතු කරගෙන යන්න නම්, පැරණි තාක්ෂණයත් එක්ක ගැබ් වුණු නව තාක්ෂණයක් අවශ්‍යයි. මෙය ඒ වෙනුවෙන් කරන සටනක් කියලත් කියන්න පුළුවන්.”
 
“මුදල් අය කිරීමකින් තොරව මම මේ සියලු‍ දේ කරන්නේ, කෘෂිකර්මාන්තයට තිබෙන ආදරය හා මගේ ආත්ම තෘප්තිය උදෙසා යි.”
 
“අවසානයේ මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා, ගමේ උත්තරචේතියරාමය විහාරයේ විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කදුරුදූවේ සුගතවංස හිමියන්ට. උන්වහන්සේ මට අනුශාසනා කිරීමෙන් වගේම ඉඩප්‍රස්තාව ලබා දීමෙන් මේ සමාජ මෙහෙවරට ගොඩක් උදව් උපකාර සිදුකළා. ඒ වගේම ප්‍රදර්ශනය කරන්න කියලා තමන් ළඟ තිබුණු පැරණි උපකරණ මාව විශ්වාස කරලා ලබා දුන් සියලු‍ දෙනාටත්, ප්‍රදර්ශනයේ රූප ඇඹීමෙන් මට සහාය වුණ අමරසිරි අයියාටත්, ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.”
 
0765339168 මෙම දුරකතන අංකය අමතා ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු ලබාගත හැක
එම්. තාරික්
 
 
 
 
 
 
 
 
 



අදහස් (0)

නව පරපුරට ගොවිකම උගන්වන ගොවියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

විස්මිත ගුණ දෙන තල තෙල් සහ ගිතෙල්
2025 අප්‍රේල් මස 14 42 0

දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත්


බුලතේ උපත හා සිරිත් විරිත්
2025 අප්‍රේල් මස 14 22 0

“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත


කොවුල් හඬ සමගින් උදාවන අලුත් අවුරුද්දේ ග්‍රහ ගමන ඔබේ ලග්නයට
2025 අප්‍රේල් මස 14 106 0

මෙම අප්‍රේල් මස දාහතර වැනි සඳුදා දින උදාවන නව වසරේ මැයි මස තුළ ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සිදුවෙයි. මැයි 14 දින ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර, මැ


අලුත් අවුරුදු සුබ වර්ණයන් ඇන්දොත් අවුරුද්දම සුබ වෙනවද?
2025 අප්‍රේල් මස 14 20 0

එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්න


සිංහල අවුරුද්දෙන් ඈත් වෙන ජන ක්‍රීඩා
2025 අප්‍රේල් මස 14 23 0

සිංහල අලු‍ත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්‍


අපි අවුරුදු සමරන්නෙ මෙහෙමයි
2025 අප්‍රේල් මස 14 17 0

සිංහල දමිළ අලු‍ත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 196 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1095 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site