ජාතික ජනබලවේගය ජනතාවගෙන් ලබාගත් ජනමතය ජනතා විමුක්ති පෙරමුණ මඟින් අවභාවිත කරන බවට චෝදනාවක් මේ වන විට යම්යම් පාර්ශ්වයන් මගින් නැගී ඇත. ඔවුන් කියන්නේ රටේ සැබෑ පාලන බලය ඇත්තේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ එක්තරා පිරිසක් අත බවය. මාලිමාවේ බොහෝ ඇමතිවරුන් ගන්නා තීන්දු තීරණ ජවිපෙ මෙම කණ්ඩායම විසින් වෙනස් කරන බවද මේ වන විට කියැවෙයි. මෙම තත්ත්වය ආණ්ඩුව තුළ ඇති රහස් ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. ඇතැමුන් ජවිපේ මෙම කණ්ඩායම හඳුන්වන්නේ “බෝල්ෂෙවික්” “කල්ලිය” වශයෙනි.
මෑත කාලයේ පමණක් නොව මෙරට දේශපාලනයේ ආරම්භක අවදියේදී ආණ්ඩුව තුළ වෙනම ආණ්ඩු පැවතුණි. අගමැති ඩී.එස්. සේනානායක ආණ්ඩුවද තීන්දු තීරණ ගත්තේ අගමැති සහ දෙතුන් දෙනකුගේ මූලිකත්වයෙනි. මෙරටට නිදහස ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදුන් නිදහස් කෙටුම්පත් වගකීමෙන් වගන්තියෙන් වගන්තිය කියවා තීන්දු ගත්තේ අගමැති ඩී.එස්., ස්වදේශ කටයුතු ඇමැති ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සහ ශ්‍රීමත් අයිවර් ජෙනිංස්ය. බණ්ඩාරවෙල මහ හෝටලයේ කාමරයකට වී ඒ තිදෙනා ගත් මේ තීන්දුව ගැන එකල පළාත් පාලන ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකවත් දැන සිටියේ නැත. හෝටල කාමරයකට වී නිදහස් පනත කෙටුම්පත් කරද්දී ඇතිවූ සිද්ධියක් සර් ඔලිවර් ගුණතිලක සටහන් කර ඇත්තේ මෙසේය.
බණ්ඩාරවෙල මහා හෝටලයේ කාමරයකට වී අපි තිදෙනා පනත් කෙටුම්පත් වගන්තියෙන් වගන්තිය ගෙන ඉතා පරික්ෂාකාරීව කියවමින් සිටියෙමු. මධ්‍යම රාත්‍රිය පසුවෙනවා පවා අපට තේරුණේ නැත. මහ රෑ හදිස්සියේ කාමරයේ දොරට වේගයෙන් ගසනවා ඇසී මම දොර වෙත ගොස් එය විවෘත කළෙමි. “මගේ නින්දට බාධා කරන තොපි කවුද? නිදාගන්න බැයිනම් මේ හෝටලයෙන් වහා පිටවෙයව්’’ කියමින් අපේ ඇඟට කඩා පැන්නේ වතු පාලක සුදු ජාතිකයෙකි. අපි ඔහු ගණන් නොගෙන අපේ වැඩය කරගෙන ගියෙමු. අපි පාන්දර හතර වනතෙක් කෙටුම්පත සාකච්ඡා කළෙමු. ඉංශ්‍රීසි අධිරාජ්‍යවාදීන් ඩී.එස්. රවටා නිසි තරගයක් නැති නිදහස් කෙටුම්පතක් යෝජනා කර ඇතැයි බණ්ඩාරනායකගේ මතය විය. ඔහු සූදානම්ව සිටියේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන්නටය. එහෙත් මම ඔහු අසීරුවෙන් එකඟ කර ගතිමි.” යැයි සර් ඔලිවර් ගුණතිලක සටහන් කර තිබේ.
1977 පත්වූ ජේ.ආර්ගේ ආණ්ඩුවේද “අදිසි ආණ්ඩුවක්” හෙවත් කුස්සි කැබිනට්ටුවක් තිබිණි. මෙම කුස්සි කැබිනට්ටුවේ නායකයා වූයේද ජනාධිපති ජේ.ආර්මය. රැස්වන්නේද වෝඩ් පෙදෙසේ ජේ.ආර්ගේ නිවසේය. එම අදිසි ආණ්ඩුව සතියකට දෙතුන් වතාවක් රැස්විය. මේ අදිසි ආණ්ඩුවේ සමාජිකයන් වූයේ ඇමතිවරුන් හතර පස් දෙනෙකු සහ ජේ.ආර්ගේ තවත් හිතවතුන් දෙදෙනෙකි. මේ සියලුම දෙනාම ජේ.ආර්ගේ සමීප හිතවතුන් වූ අතර ඉදිරියේදී කළ යුතු වැඩ ගැන එහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙම “අදිසි” ඇමති මණ්ඩලයේදී ගන්නා තීන්දු හා තීරණ නියම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයාගේ අදහස් ලෙසය.
ජේ.ආර් එකල නායකත්වය ලැබුණු විගසම තමාට අනාගත තර්ජනයක් එල්ල විය හැකි සේනානායක පරපුරේ උරුමක්කාරයා වූ රුක්මන් සේනානායක පක්ෂයෙන් නෙරපා දැම්මේය. ජේ.ආර් තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස නිතරම දිරි දුන්නේ රණසිංහ ප්‍රේමදාසටය. ඔහුගෙන් තමාට තර්ජනයක් එල්ල නොවන බව ජේ.ආර් දැනසිටියේය. එහෙත් කිචන් කමිටුවට ප්‍රේමදාස ඇතුළත් වූයේ නැත. එයට ගෙන්වා ගත්තේ රනිල් වික්‍රමසිංහ, ගාමිණී දිසානායක, එන්.ජී.පී. පණ්ඩිතරත්න සහ ලලිත් ඇතුලත් මුදලි පමණකි.
ඇතැම් රාජ්‍ය නායකයන් තමාගේ කිචන් කැබිනට්ටුවේ තීන්දු තීරණ ගත්තේ අනාගතයේ තමන්ට තර්ජනයක් නොවන පුද්ගලයන් ළංකර ගැනීමෙනී.
එකල නායකයා හෝ රාජ්‍ය නායකයාට සමීපවීමේදී අනාගත නායකත්ව අංකුරයක් එතැනින් මතුවේදැයි බොහෝ නායකයන් තුළ බියක් පවතී. ඒ නිසා ඔවුන් කටයුතු කළේ එවැනි තර්ජනයක් එල්ල නොවන ආකාරයටය. එක් නායකයකු තම කිචන් කැබිනට්ටුවට ඉඳහිට හෝ ගෙන්වා ගත් පවුලේ සමාජිකයන් නොවන දෙතුන්දෙනා වූයේ “සිංහල බෞද්ධ ගොවිගම” නොවන මන්ත්‍රීවරුන්ය.
එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයා චන්ද්‍රිකා රජයේ “කිචන් කැබිනට්ටුවේ” සාමාජිකයෙකි.
මමයි, මංගලයි, චන්ද්‍රිකා, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙයි, බර්ටි ප්‍රේමලාල් දිසානායකයි තමයි කිචන් කැබිනට්ටුව. සමහර වෙලාවට රිචඩ් පතිරණත්, අනුරුද්ධ රත්වත්තෙත් ගෙන්වනවා. හුඟක් වෙලාවට මමයි, මංගලයි, චන්ද්‍රිකායි නිතරම හමු වෙනවා. මම එතකොට නියෝජ්‍ය මුදල් ඇමති. ගොඩක් වැදගත් දේවල් ගැන ආණ්ඩුවක් කරද්දි නිතරම කතා කරන්න වෙනවා. කරන හැටි, කොහොමද කරන්නේ වගේ ඒවා. ඉතින් අපි නිතර කතා කරනවා. රෑ තමයි චන්ද්‍රිකාගෙ ගෙදරදී මුණගැසෙන්නේ. කතා කරලා තීන්දු අරගෙන තමයි කැබිනට් එකට යන්නේ. එස්.බී. දිසානායක සඳහන් කරයි.
කැබිනට්ටුව තුළ වෙනම කැබිනට්ටුවක් පවතිනවා සේම දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේද එවැනි කිචන් දේශපාලන මණ්ඩල - කිචන් මධ්‍යම කාරක සභා - කිචන් කෘත්‍යාධිකාරි මණ්ඩල පවතී. එකල නායකයන් ඉදිරි කටයුතු ගැන තීන්දු කරන්නේ තම සමීප සගයන් සමඟ මෙසේ සාකච්ඡා කරගන්නා තීන්දු අනුවය. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවත් දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් පෙනී සිටියත් පක්ෂ අභ්‍යන්තරයේ කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. තීන්දු ගන්නේ පක්ෂ නායකයාට වුවමනා ආකාරයටය. බණ්ඩාරනායක මැතිනිය එකල නායිකාව සමයේදී පක්ෂයේ තීන්දු ගැන කලින් කතා කරන “කිචන් දේශපාලන මණ්ඩලයක්” තිබිණි. “මමයි මැතිනියි, ධර්මසිරි සේනානායකයි, අනුරුද්ධ රත්වත්තේයි. අපි කලින් හම්බෙනවා. හම්බෙලා කතා කරලා තීන්දු අරගෙන තමයි දේශපාලන මණ්ඩලයට දාන්නේ. පක්ෂයට චන්ද්‍රිකාව ගත්තෙත් එහෙම. මැතිනි චන්ද්‍රිකාව ආපහු පක්ෂයට ගන්න බෑම කිව්වා. මම ඒ කාලේ දිගටම මැතිනිව මුණගැසෙනවා උදේට. ඒ කාලේ මං වැඩ කළේ මාර්ග එකේ.
පිටරට තොරතුරු සඟරා, නිව්ස් හරියට එතනට එනවා. මං හැමදාම අලුත් ලෝක තොරතුරු අරන් මැතිනි හමුවෙනවා. මං ගිහින් මැතිනිට කිව්වා මේක හරියන්නේ නෑ මැඩම් පක්ෂයේ හැමෝම අනුරට එකතු වෙනවා. මැඩමුත් කියනවා මගෙන් පස්සේ අනුරට නායකත්වය දෙනවා කියලා. ඒ හින්දා කලින් සම්බන්ධතා හදා ගන්න අනුරත් එක්ක කට්ටිය එකතු වෙනවා. මේකට විකල්පයක් ඕනෑ. කරන්න තියෙන්නේ චන්ද්‍රිකා ගේන එක කියලා මම කීවා. මැතිනි කැමති නෑ. මෙයා හිතුවක්කාරයි කියලයි හැම වෙලාවේම කියන්නේ. මැතිනි අමාරුවෙන් කැමති කරගත්තා. ඊට පස්සෙයි පක්ෂයෙන් අනුමත කරගත්තේ. “ශ්‍රීලනිප හිටපු මහ ලේකම් එස්.බී. දිසානායක කියයි.
මහින්ද රාජපක්ෂ රජයේ කිචන් කැබිනට්ටුව පිටස්තරයන් සම්බන්ධ කරගත්තේ නැත. තීන්දු ගත්තේ පවුලේ සාමාජිකයන් පමණයි.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තීන්දු කිරීමද පළමුව පක්ෂයෙන් නොව පක්ෂය තුළ තිබූ කිචන් දේශපාලන මණ්ඩලයේ තීන්දුවකි. රාජපක්ෂ පවුලේ අය ගෝඨාභය සුදුසු යැයි තීරණය කර එම යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරපත් කර අනුමත කර ගත්තේය. එහෙත් එම තීන්දුව දේශපාලන මණ්ඩලයෙන් ආ තීන්දුවක් නොවේ. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඒ දිනවල කියා සිටියේ තමන් සිටි දේශපාලන මණ්ඩල රැස්වීමකනම් එවැනි යෝජනාවක් සාකච්ඡාවටවත් නොපැමිණි බවය.
“අපේ රැස්වීම් කියලා කියන්නේ පක්ෂ නායක රැස්වීම. එහෙම නැතිනම් මධ්‍යම කාරක සභාව. එහෙම තැන්වල කතා කරන්නේ නැතිනම් ඊට ඉහළ තැනක් නැහැනේ කතා කරන්න. ඒ නිසා එතැන කතා වුණේ නෑ. ඒත් හුඟක් නායකයෝ අපි දැකලා තියනවා තීන්දු ගන්නේ ගෙදර තියන “කුස්සි කැබිනට්” එකේදී තමයි. “කිචන් කැබිනට්” එකෙන් තීරණ අරගෙන තමයි. පවුලේ උදවියගෙන් තීන්දු අරගෙන තමයි මධ්‍යම කාරක සභාවට දාන්නේ. මෙතැනත් වෙන්නේ එහෙම එකක් තමයි.” වෙල්ගම එකල ප්‍රසිද්ධියේ කීවේය.
2015 ආණ්ඩුවේ දෙවැනි බලවතා වූ රනිල් වික්‍රමසිංහගේ කිචන් කැබිනට්ටුව ගැන මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ආණ්ඩුව පරාජය වීමෙන් පසු මෙසේ පැවසීය.
“රනිල් වික්‍රමසිංහගේ කිචන් කැබිනට් එකේ රනිල්ට අමතරව පක්ෂ මහලේකම්වරයා හිටියා. මලිත් සමරවික්‍රම හිටියා. සාගල රත්නායක හිටියා. රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් හිටියා. අර්ජුන් මහේන්ද්‍රන් වගේ අය. ඒ අය තමයි ආණ්ඩුවේ ගමන තීරණය කෙරුවේ. අපි හරියට කනගාටු වුණා. අපේ විරෝධය අපි වරින් වර පෙන්නුවා. ඒත් ඒක වෙනස් වුණේ නෑ.” මනෝ ගනේෂන් එසේ කියයි.
සෑම ආණ්ඩුවකම පාලකයාට සමීපව අභ්‍යන්තර කව තිබුණේය. කිචන් කැබිනට් - කෝපි කල්ලිය - බෝල්ෂෙවික් ටීම් එක වැනි විවිධ නමින් හැඳින්වුවත් ඔවුන් රට පාලනය කළේ තම සමීප සගයන් ළං කරගෙනය. එවැනි කණ්ඩායම්වලට රට වැසියන්ගේ ඇල්මක් තිබුණේ නැත. ආණ්ඩුව පැරදුණ පසු මේ කල්ලි කණ්ඩායම් විසිර ගියේ පැදුරටත් නොකියාය. වත්මන් ආණ්ඩුවේත් එවැනි කණ්ඩායමක් සිටී නම් පැවැති ආණ්ඩුවලින් පාඩම් ඉගෙන ගැනීම අනාගත හිතසුව පිණිස ප්‍රයෝජනවත් වනු ඇත්තේය.
ප්‍රේමකීර්ති රණතුංග
2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර 2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක්
දීර්ඝකාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂි කර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරමාර්ථය ඇතිව බිහිවිය. කෘෂිකාර්මික කටයුතු ශ්
නූතන වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හා ඒ හා සබැඳි ඉගෙනුම් - ඉගෙන්වීම් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ කතා ඇසෙන්නේ අදක ඊයෙක සිට නොවේ. විශ්ව විද්‍යාල
සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ න
ජාතික ජනබලවේගය ජනතාවගෙන් ලබාගත් ජනමතය ජනතා විමුක්ති පෙරමුණ මඟින් අවභාවිත කරන බවට චෝදනාවක් මේ වන විට යම්යම් පාර්ශ්වයන් මගින් නැගී ඇත. ඔවුන් කියන්නේ රට
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
පැදුරටත් නොකියා තීන්දු ගන්නා කිචත් කැබිනෙට්ටුව