IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය අතර පීඩාවට ලක්වන චරිත මගේ නවකතාවට ප්‍රස්තුත වෙනවා - අමිල උක්වත්ත


නවකාකරුවකු, තිර රචකයෙකු හා තීරු ලිපි රචකයෙකු වන අමිල උක්වත්ත නවකතාවෙහි තේමාත්මක මුවහත මෙන්ම ආඛ්‍යාන විධි පිළිබඳ සුපරික්ෂාකාරී ව ලේඛනයෙහි යෙදෙන්නෙකි. ඔහු ලියූ නවකතා පාදක කරගනිමින් කතුවරයාගේ ලේඛන රීතිය සහ ජීවන දෘෂ්ටිය පිළිබඳ කෙරුණු සාකච්ඡාවකි මේ. 

  මානව බැඳීම් ඔබේ නවකතාවල කැපී පෙනෙනවා. මෙය ඔබේ විශේෂත්වයක් ලෙස පේනවා. ඒ ගැන ඔබේ අදහස කියන්න.

මම දැනට රචනා කරපු නවකතා තුනම පදනම් වෙලා තියෙන්නෙ මානව බැඳීම් මත. කොහොමටත් මානව බැඳීම්වලින් තොරව කතාවක් රචනා කරන එක  අපහසු දෙයක්. මේ මානව බැඳීම් කියන්නේ බොහොම අපූර්ව වගේම උත්සවාකාරී දෙයක්. මිහිරි, අමිහිරි වගේම ඕනෑම වර්ගයක සබඳතාව අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා වගේම අපි ඒවායින් ආස්වාදය විඳිමින්, අත්දැකීම් උකහා ගනිමින්  ජීවත්වෙනවා. බොහොම රොමෑන්තික වටපිටාවක තමන්ගේ ආදරවන්තයත් එක්ක ආදරේ විඳින්න ලෑස්තිවෙන කෙනෙක් වගේම, තැබෑරුමක හුදෙකලාව බීර වීදුරුවක් තොල ගාන කෙනත්, ඒ මානව බැඳීම් අඩු වැඩි නැතුව විඳිනවා. අපි හැම කෙනෙකුගේම ජීවිතවලට ජීවත්වෙන්න මේ මානව බැඳීම් අත්‍යවශ්‍යමයි. 

ඔබ කියන ආකාරයට මේ නවකතා තුනේම මානව බැඳීම් විශේෂ ලෙස කැපී පේනවා කියන දේ සම්පූර්ණ ඇත්තක්. මම තලු‍ මරමින් මේ මානව බැඳීම් විඳින ගමන්ම ඒවා නවකතාවකින් පාඨකයාට සමීප කරවන්න උත්සාහ කරන නවකතාකරුවෙක්. 

  මානව බන්ධුතා උත්කර්ෂයට නැංවීමක්ද ඔබ කරන්නේ?

මේ ප්‍රශ්නයට තියෙන කෙටිම පිළිතුර ‘ඔව්’. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. මම මුලින් කිව්වා වගේ පෞද්ගලිකව මානව බන්ධුතා වලට ප්‍රිය කරන වගේම ඒවා ගොඩක් රස විඳින කෙනෙක්. 

මට මගේ ජීවිතේ ඇතුළේ, ප්‍රභූ පැලැන්තියේ ඉහළම පුද්ගලයන් එක්ක තරු හෝටල්වල වගේම, අඳුරු ගුබ්බෑයම්වල අමුවෙන්ම සප්පායම් වෙන මිනිස්සු එක්කත් සෑහෙන මුණගැසීම් වෙලා තියෙනවා. ඒ හැම ගැහැනු, පිරිමි කෙනෙකුගේම ජීවිත ඇතුළේ හරිම රසවත්, අපූරු කතන්දර පිරිලා තියෙනවා. මගේ පළවෙනි නවකතාව වෙන “නේත්‍රා දේවී”‍ ලියවෙනකොට මට වයස අවුරුදු 44යි. මම හිතන්නේ මම ඒ වෙනකම් මට හම්බවුණු  මිනිසුන්ගේ මානව බන්ධුතා පිළිබඳව හැදෑරුවා කියලයි. මේ මානව සබඳතා දිහා ගැඹුරින් බලනකොට අපිට ඒවා ඇතුළේ තියෙන මතුපිටින් පේනවට වඩා ඉතාම විශාල සංකීර්ණකමක් පේන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් සම්මතයි, අසම්මතයි කියලා වර්ග කරන මානව සබඳතා අපිට වෙනම මානයකින් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ සබඳතා ඇතුළේ ඉන්න කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම කළු හෝ සුදු චරිතයක් වෙන්නෙ නෑ. හැම කෙනෙක්ම මේ කළු‍, සුදු කලවම්වෙලා හැදිච්ච අළු චරිත කියන දේත් අපිට පේනවා. මගේ නවකතා තුනේම චරිතවලින් උත්කර්ෂයට නංවලා තියෙන්නෙ මේ මානව බන්ධුතා, සබඳතාවල මේ සංකීර්ණ ස්වභාවයයි.

‘නේත්‍රා දේවී’  නවකතාවේ ධනුක කියන තරුණයා නිදහසේ ජීවත් වෙන්න කැමති චරිතයක්. එයාගේ මේ මනෝභාවය එයාටම තේරුම්ගන්න බෑ. ධනුකගේ පෙම්වතිය වෙන හංසි සමාජයේ පිරිමියෙක් විවාහ කරගන්න බොහොම කැමති වෙන ආකාරයේ සුදුසුකම් ඔක්කොම තියෙන තරුණියක්. මෙතන දී මේ දෙන්නගෙම වැරැද්දක් දකින්න බෑ. ඒත් මේ සම්බන්ධය දෙන්නටම ලොකු පීඩනයක් ගේනවා. මේ දෙන්නා අතරට එන නේත්‍රා කියන චරිතය ඉහළ පන්තියේ විවාහක කාන්තාවක්. අසාර්ථක කුටුම්බයක හිරවෙලා ඉන්න නේත්‍රා තමන්ට නැති වෙච්ච එකම දේ වෙන ආදරේ හොයාගන්න බොහොම දැඩිව උත්සාහ කරන කෙනෙක්. මේ කතාවේ චරිත කීපය දිහා විමසිල්ලෙන් බැලු‍වොත් අපිට පේන පොදු දේ තමයි, අර මම මුලින් කිව්ව වගේ කිසිම චරිතයක් මේ සබඳතා ඇතුළේ සම්පූර්ණයෙන්ම වැරදි නෑ. නොගැළපෙන සබඳතා ඇතුළේ කෙරෙන ගැටුම්, ඒවායින් එළියට එන්න කරන  අනවරත අරගල තමයි මම මේ හැම චරිතයකින්ම  උත්කර්ෂයට නගන්නේ. 

 මානව බන්ධුතා සමාජයට බලපෑම සහ සමාජයෙන් වන බලපැම ඔබේ නවකතා ඇසුරෙන්ම කිව්වොත්?

මගේ දෙවෙනි නවකතාව වන”‍ කැලණිවැලි …EXPRESS”‍ හි චරිත වලින් මට මේකට උත්තරයක් දෙන්න පුළුවන්. මෙය එකම කෝච්චියක , එකම වෙලාවක උදේ වරුවේ තමන්ගේ රස්සාවලට යන නඩයක් ගැන කියවෙන කතාවක්. ඒ නඩයේ ඉන්න වෙනත් කෙනෙක් එක්ක විවාහ නොවී එකට ජීවත්වෙන කාන්තාවක් ඒ නඩයේම ඉන්න විවාහක පිරිමියෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පටන් ගන්නවා. මේ පොතේ ඒ චරිත දෙක හැඳින්වෙන්නේ ‘උත්තරා’ හා ‘ගිම්හාන’ කියන  නම්වලින්. 

මේ වගේ සම්බන්ධයක් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අනියම් එහෙම නැත්නම් අසම්මත සම්බන්ධයක් විදිහට. මම අර මුලින් කියපු කෝච්චියේ නඩය සමාජයේ විවිධ පැතිකඩවල් නිරූපණය කරන චරිත. ඒ අය මේ සම්බන්ධය දිහා බලන්නේ විවිධ මානවලින්. මේ සම්බන්ධය ගැන උපේක්ෂා සහගතව මැදහත් විදිහට බලන සුළු‍තරයක් වගේම මේ වගේ සම්බන්ධයක් හෙළා දකින බහුතරය මෙතන ඉන්නවා. ඒ අයගේ බාහිරට පේන මතය කොහොම වුණත් ඒ අයගේ හෘද සාක්ෂිය මේ ගැන දකින විදිහ මේ කතාවෙන් විවරණය කරනවා. 

මට මේ කතාවෙන් කියන්න ඕනැ කළේ අපි සාමාන්‍යයෙන් අනියම්, අසම්මත සම්බන්ධයක් කියලා කියන විදිහේ සම්බන්ධයක් විවාහක සැමියෙක්, බිරිඳක් අතර වුණත් තියෙන්න පුළුවන් කියන එක. ඒක තව දුරටත් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. විවාහ වෙච්ච සැමියා, බිරිඳ අතරේ වුණත් ආදරය, ප්‍රේමය කියන හැඟීම නැත්නම් ඒ දෙන්නා අතරේ තියෙන සම්බන්ධය නීත්‍යනුකූල වුණත් ඒක එක්තරා දුරකට අනියම්, එහෙම නැත්නම් නියම නොවෙන සම්බන්ධයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විවාහය එක්ක බැඳිලා තියෙන වගකීම් ප්‍රමාණය විශාලයි. ඒ වගකීම් එක්ක සටන් කරනකොට විවාහක යුවලක් අතරේ තියෙන ආදරේ රහ කොටස ගිලිහිලා යනවා. ඒ රික්තකය හරිම විශාලයි වගේම යම් වෙලාවකදී ඒක අඳුරු වලාවක් වගේ විවාහ ජීවිතය උඩින් පැතිරෙන්න පටන් අරන් ඒ විවාහය නීරස, කළුවරකින් වහනවා. මානව සම්බන්ධයක් නීත්‍යනුකූලව සුරක්ෂිත වෙනකොට තමයි ගොඩක් අය අතින් මේ විදිහට ඒ සම්බන්ධය ගිලිහී යන්න පටන් ගන්නේ. අනියම් සම්බන්ධතාවක් කියන සම්බන්ධයකදී ඒක නීත්‍යනුකූල නොවෙන හින්දා ඒ රික්තය නැතිකරගන්න ඒ දෙපැත්තෙන්ම කැපවීමක් කරනවා. ඒ දැනුවත්ව හෝ නොදැනුවත්වම වෙන්න පුළුවන්.

දකුණු ආසියානු සංස්කෘතිය ඇතුළේ ගොඩක් වෙලාවට විවාහය කියන බැඳීම ඇතුළේ මේ වගේ දේවල් දරාගෙන ජීවත් වෙන්න බොහොමයක් පුරුදුවෙලා ඉන්නවා. අනියම් සම්බන්ධතා ඉතා පිළිකුලෙන් හෙළා දකින සමාජ  සංස්කෘතියක මේ ශානරයේ මානව බන්ධුතා  සම්බන්ධයෙන් සාධාරණ කතිකාවක් ගොඩනැගෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. මම ලේඛකයෙක් විදිහට ඒ ගැන මීට වඩා පුළුල්, වෙනස් කෝණයකින් බලන්න කියන පණිවිඩය තමයි කැලණිවැලි …EXPRESS පොතේ එන චරිතවලින් සමාජයට දෙන්න උත්සාහ කරන්නේ.  සදාචාරයේ සළුවලින් වහගෙන ඉන්න තමන්ගේ හෘද සාක්ෂියේ නිරුවත ගැන කතාකරනවා කියන නිර්වචනයත් මේ කතාවට යම් විදිහකට ගැලපෙනවා.

මානව බන්ධුතාවලට සමාජයෙන් වන බලපෑමත්, සමාජයෙන් ඒ බන්ධුතාවලට එන බලපෑමත් මේ පොතේ එන චරිතවලින් නිරූපණය කරනවා. 

ඉහළ මධ්‍යම පංතියේ ඛේදවාචකය ගැන ලියැවුණු නවකතා පොත් සාමාන්‍යයෙන් අඩුයි. 

‘නේත්‍රා දේවී’ හා මගේ තුන්වෙනි නවකතාව වන ”‍ ගිනි මල්”‍ මගින් ද මේ ඉහළ මධ්‍යම පංතියේ  මානව සබඳතා සමාජය එක්ක ඝට්ටනය වෙන ආකාරය හා එයින් සමාජයට වන බලපෑම පෙන්නුම් කරනවා. ඉහළ මධ්‍යම පංතියේ වික්ටෝරියානු සම්ප්‍රදායේ නීත්‍යනුකූල සබඳතා ඇතුළේ විඳවීම පහළ මධ්‍යම පංතිය එක්ක සංසන්දනය කරලා බලනකොට සාපේක්ෂව අඩුයි. ඔවුන් ආදරය හොයාගෙන යනවා. සමහර විට ආර්ථික, දේශපාලනික බලයත් එක්ක ඔවුන් ඒ දේවල් බලෙන් ලබාගන්න පවා පෙලඹෙනවා. 

‘නේත්‍රා දේවී’ නවකතාවේ අසාර්ථක විවාහයක් ඇතුළේ තමන්ගේ සැමියාගේ බලපෑම් එක්ක ආදරය හොයාගෙන යන නේත්‍රා කියන චරිතය වගේම, ”‍ ගිනිමල් ”‍ නවකතාවේ වර්ෂා කියන චරිතය වෙනස් මාන දෙකක විහිදෙනවා. වර්ෂා තමන්ට ආදරේ බලෙන් ලබාගන්න යන ගමනේදී රටේ දේශපාලන දිශානතිය පවා යම් මට්ටමකට වෙනස් කරවනවා. 

 පුද්ගල යථාර්ථය සහ සමාජ යථාර්ථය අතර සම්බන්ධය ඔබේ සාහිත්‍යයෙන් ගවේශනය කරන බව මට පේනවා. ඒ ගැන කියන්න.

පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය අතර නොනවතින ගැටුමක් පවතිනවා. මම අර මුලින් සඳහන් කළා වගේ සමාජයේ යථාර්ථය තීරණය කරන්නේ බහුතර සමාජය මඟින්. ඒත් පුද්ගල යථාර්ථය තම තමන්ටම සුවිශේෂ වෙච්ච දෙයක්. සමාජයක් පවතින්නේ යම් සම්මුතීන් මත. පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය අතර විසම්මුතියක් නිතරම පවතිනවා. ඇත්තටම සමාජයේ රසවත්භාවය එන්නෙත් මේ විසම්මුතීන් මතම තමයි. මේ යථාර්ථයන් දෙකේ ඝට්ටනය නිසා.

නේත්‍රා දේවී නවකතාවේ එන නිර්මානගේ චරිතය, නේත්‍රාගේ චරිතය කැලණිවැලි EXPRESS හි උත්තරා, ගිම්හාන මේ පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය අතර පීඩනයට ලක්වෙන චරිත. ඒ චරිත ඒ පීඩනයෙන් ගැලවෙන්න දරන අරගලය ඒ චරිත වලින් දිස් වෙනවා. ඒ අරගලයේ සාර්ථක , අසාර්ථකකම තීරණය කිරීම පොත කියවන පාඨකයන්ට  භාර දී තියෙනවා.

නවකතාකරුවෙක් නවකතාවක ගොඩනංවන චරිත සඳහා  චරිත වැපිරවීමේ අඛණ්ඩ උත්සාහයක නිරත  පාඨකයාගේ ජීවිතයට බද්ධ වෙන්නේ ඊට පසුව. ඒ කාර්ය කරන එක පාඨකයා සතුයි. 

අපේ ජීවිත හැම එකක්ම කතන්දරවල මනසේ ඇඳගෙන රස විඳින නවකතාවක් ලියන්න මම උත්සාහ කරනවා.  ඉතිහාසයේ සිදුවීමකින් අනුන් හැම ක්‍රමයකින්ම ප්‍රස්තූත හොයාගන නවකතාකරුවෙකුට අවශෝෂණය කර ඒත් හරි විදිහට නිර්මාණ ආවේශය විඳින පාඨකයාටත් සන්නිවේදන ඒ විදිහට තමයි නවකතාව වෙන්නේ. 


  • තිඹිරියාගම බණ්ඩාර

 



අදහස් (0)

පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය අතර පීඩාවට ලක්වන චරිත මගේ නවකතාවට ප්‍රස්තුත වෙනවා - අමිල උක්වත්ත

ඔබේ අදහස් එවන්න

තක්සලාව

නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 17 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 136 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 102 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 49 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව
2024 දෙසැම්බර් මස 31 24 0

‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ


සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර
2024 දෙසැම්බර් මස 30 25 0

දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site