IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්


ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය. ඒ ආකාරයටම අවුරුද්ද පුරාම සාහිත්‍ය පිපාසයෙන් පෙළෙන සාහිත්‍යකාමින් ද බලා සිටින්නේ සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයට වට්ටම් සහිතව පොතක් පතක් මිලදී ගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙන නිසාය. එහෙත්, සමහර විටෙක ලංකාවේ පාඨකයා නොදන්නා කාරණාවක් ද තිබිය හැකිය. එනම්, අවුරුද්ද පුරාම අඩුම මිලට පොත් ලබා දෙන පොත් ප්‍රදර්ශනයේදී මෙන්ම නිදහසේ ඇවිද කියා පොත් අතපත ගා මිලදීගත හැකි වීදියක් තිබෙන බව සමහර විටෙක ඔබ අසා තිබෙන්නට ඇත. නැතහොත් අසා නොතිබෙන්නට ඇත. එවැනි වීදි පිටරටවල අලුත් දෙයක් නොවුණත් ලංකාවේ එවැනි වීදි බහුල නැත.
 

මහින්ද තෙන්නකෝන්


 

වායු සමීකරණ ශිල්පි


 

සංජය හැන්නදිගේ


 

අප දන්නා පරිදි පොත් පිස්සන්ගේ පාරාදීසයක් ලෙස සැලකිය හැකි එවැනි වීදියක් දකින්නට තිබෙන්නේ මරදානට කිට්ටුව තිබෙන ගාමිණී හෝල් පරණ පොත් කඩ වීදියයි. මෝටර් රථ අමතර කොටස් සෙවීමට පංචිකාවත්තට යන පුරුද්දක් සමහරුන්ට ඇත. ඒ ආකාරයටම ඕනෑම, සොයා ගැනීමට අපහසු පරණ පොතක් සෙවීමට අපට මතක් වන එකම වීදිය ගාමිණී හෝල් වීදියයි. දැන් දශක ගණනක් තිස්සේ විරාජමානව වැජඹෙන එම පොත් කඩ වීදිය 120 බස් පාරේ යන අපගේ නෙතට ප්‍රිය දසුනක් වෙයි.
 
මෙම පරණ පොත් කඩ වීදියෙන් පොතක් මිලදී ගැනීමට යන ඔබට ලැබෙන්නේ තවත් එක් පොත් කඩයක අත්දැකීමක් නොවේ. මෙතැනට එන සැවොම පැමිණෙන්නේ එම වෙනස් අත්දැකීම බලාපොරොත්තුවෙනි. මෙතැනට එන පාඨකයාට පරණ පොත්වල පුසුඹ මෙන්ම මෙහි සිටින ප්‍රියජනක වෙළෙන්දන්ගේ සතුටු මුහුණු ද දැකගත හැකිය.
 
පසුගිය දා එම පරණ පොත් කඩ වීදියේ රවුමක් යන්නට මම තෝරා ගත්තේ උදෑසන කාලයයි. ඒ මොහොත හරියටම ඉර එළිය පතිත වී හෝරා කිහිපයක් ගත වී තිබුණා පමණි. පරණ පොත් කඩ එකින් එක විවෘත වෙමින් ඇත. නිවාඩු දිනයක් නිසා දෝ වාහනවලින් පැමිණි විවිධ මට්ටමේ පාඨකයෝ ඉස්පාසුවක් නැතුව පොත් තෝරමින් සිටිති. අපි ද මෙම වීදියේ නොයෙක් වර ඇවිද යමින් පරණ පොත් කඩවල ඉතිහාසය මෙන්ම එම වෙළෙන්දන් විඳින අටෝරාශියක් හිංසා පීඩාවන් ගැන ලියා ඇත්තෙමු. ඒවා දැනුදු විසඳී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එය අපට සහතික කොටම දැනගත හැක්කේ මෙම වෙළෙඳ මහත්වරු හා කතාබහ කිරීමෙනි.
 
පොත් ගන්න පැමිණි කිහිප දෙනකු එහාට මෙහාට යනකම් හිඳ මම තරුණ වෙළෙඳ මහතකුගෙන් ගාමිණී හෝල් පොත් කඩ පේළියේ වත්මන් තත්වය ගැන ඇසුවෙමි. ඔහු නමින් සංජය හැන්නදිගේ ය. ප්‍රේමදාස පොත් කඩයේ වත්මන් නියමුවා ඔහුය. තමන් ළඟට එන පාරිභෝගිකයන්ට සුහදශීලිව කතා කරමින් අවශ්‍ය පොත් පත් තෝරා දෙනු, මම පසෙකට වී බලා සිටියෙමි. මේ, ඔහු මට පැවැසූ කතාවය.
 
“මේ පොත් කඩේ මගේ තාත්තා තමයි මුලින්ම පටන්ගත්තේ. ඒ, 1972 අවුරුද්දේ වගේ. මෙතැනට අපි ඇවිත් අවුරුදු ගණනාවක් වෙනවා. මේ පොත් කඩ පේළිය මුලින්ම පටන් අරන් තියෙන්නේ තාත්තාගේ ලොකු මාමා. ඒ කියන්නේ, ලොකු සීයා. පොත් සෙකන්ඩ් හෑන්ඩ් බිස්නස් එක ඒ විදිහට තමයි ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ. අද වන විට ‘ප්‍රේමදාස බුක් ෂොප්’ කිව්වාම හැමෝම දන්නවා. දැන් අපේ ශාඛාවක් කිරිබත්ගොඩත් තිබෙන මට්ටමට අපි දියුණුවක් ලබා තිබෙනවා. තාත්තා බොහෝ වේලාවට කිරිබත්ගොඩ ඉන්න නිසා මම තමයි මෙතැන පොත් කඩය බලා ගන්නේ.
 
මෙතැන හැම ක්ෂේත්‍රයටම අදාළ වන විදිහට පොත් තියෙනවා. මොන්ටිසෝරියේ ඉඳන් උසස් අධ්‍යාපනය දක්වාම සියලුම දෙනාට ගැළපෙන ආකාරයට පොත් තිබෙනවා. විෂය බාහිර පොත් වගේම කතන්දර පොතුත් අපි ගාව තියෙනවා. කවුරු හරි කෙනෙක් පොත් ලිස්ට් එකක් අරන් ආවොත් එක පොතක් හරි අපි ගාවින් හොයා ගන්න පුළුවන්. මෙතැන තියෙන පොත්වලින් සියයට 90ක්ම තියෙන්නේ ඉංග්‍රීසි පොත්. ඊට අමතරව සිංහල පොතුත් තියෙනවා. ඒත් අපි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉංග්‍රීසි පොත්වලට. ප්‍රේමදාස හා වර්ණසූරිය යන අය තමයි මෙතැන පොත් ව්‍යාපාරය ආරම්භ කළ මුල් පුරුක්. අපේ තාත්තාත් මේ පොත් කඩවල උදව්වට ආපු කෙනෙක්. පීටර්ස් අයියාත් එහෙමයි. පස්සේ අපේ තාත්තා වගේම පීටර්ස් අයියාත් මෙතැන වෙනම පොත් ව්‍යාපාරය පටන් අරන් තියෙනවා. 
 
මේ ව්‍යාපාරයේ ඉන්න තුන්වැනි පරම්පරාවේ කෙනෙක් විදිහට මං මෙතැන අවුරුදු හයක්. මට මේ සම්බන්ධව මෑතකදීම තියෙන අත්දැකීම තමයි, මෙතැනට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මට කිව්වා මේ තැන මේ විදිහටම තියෙන්න දෙන්න, මේක නැති කරන්න එපා කියලා, උඹ හරි වාසනාවන්තයි මේ වගේ පොත් ගොඩක් මැද්දේ ඉන්න කියලා. දිගටම මේක කරගෙන යන්න කියලත් ඔහු මට කීවා. මමත් අවුරුදු 13ක් රැකියාවක් කරපු කෙනෙක්. මං ඒකෙන් අයින් වෙලා තමයි මේ පොත් ව්‍යාපාරය හා එක් වුණේ.”
 
ගාමිණී හෝල් පොත් කඩ පේළිය ආරම්භ කෙරුණු කතාව ද ආශ්වාදජනකය. කලින්, රජයේ ආයතනවල විදේශිකයන් ද රාජකාරි කර තිබේ. වැඩිපුර ඉඳ තිබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඒ අයගේ නිවාසවල තිබූ පොත් එකතු කරගැනීමට වෙනමම කණ්ඩායමක් ඒ කාලයේ ඉඳ තිබේ. එම පිරිස පැමිණ පොත් විකිණීමට පුරුදු වී තිබෙන්නේ මෙතැනටය. මේ තැන මුලින්ම පටන්ගෙන තිබෙන්නේ එසේ ගෙනා පොත් එකතු කරගනිමිනි. මුල් කාලයේ එම විදේශීය පිරිස් සිටි නිවෙස්වලින් ඉංග්‍රීසි පොත් පත් මෙන්ම සඟරා ද බහුලව එකතු කරගෙන පැමිණ ඇත.
 
ගාමිණී හෝල් එකේ පොත් කඩ ආරම්භ වීමට පෙර මුලින්ම මෙය ආරම්භ වී තිබෙන්නේ මරදාන දුම්රියපොළ ආසන්නයේය. මුල් කාලයේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙතැනින් පොත් ගෙන කියැවීමට හුරුව ඇත. ඉන් පසු එය ටිකෙන් ටික වර්ධනය වන විට ඉඩ පාඩු මදි නිසා ගාමිණී හෝල් එකට පොත් කඩ ටික ගෙනැවිත් ඇත. එම පොත් කඩ පටන්ගත් පරම්පරාවෙන් දැනට සිටින්නේ තුන්වැනි පරම්පරාවය. අතීතයේ මෙතැනට විත් පොත් ගෙනියපු අය තම දරු මුණුපුරන් සමග ‘මේ අපි පොත් ගන්න ආපු තැන්’ යැයි පැමිණ පෙන්වන්නේ අතීත සුන්දර මතකයන් ද සිහිපත් කරමිනි.
 
අදත් විශේෂම කාරණය වන්නේ, ගාමිණී හෝල් පොත් කඩ ආරම්භ වූ මුල් අදියරේදී පොත්වලට අමතරව සමහර වෙළෙන්දන් ප්ලාස්ටික් බඩු ද, තවත් සමහරු රෙදි අලෙවිසල් ද දමාගෙන සිට ඇත. එහෙත්, පසු කාලීනව පොත් ව්‍යාපාරය ටිකෙන් ටික සාර්ථක වන විට අනෙක් වෙළෙන්දන් එම ව්‍යාපාර අතහැර දමා පොත් ව්‍යාපාරයට අවතීර්ණ වී ඇත. දැනට පොත් කඩ 7ක් පමණ මේ ස්ථානයේ ඉතිරි වී තිබේ. ඒ ඉතිරි වී තිබෙන්නේ මේ වෙළෙන්දන්ගේම තිබෙන අප්‍රතිහත ධෛර්යය නිසා මිසක් වෙන හේතුවක් නිසා නොවේ. මේවා අතහැර යනවා නම් යන්නට තරම් හේතු මේ අයට ඇත. පීටර්ස් බුක් ෂොප් යනු, මෙහි තිබෙන තවත් පැරැණිතම පොත් කඩයකි. එහි වත්මන් හිමිකරු පුෂ්පකුමාර කුරුප්පුආරච්චිය. ඔහුගේ විශේෂත්වය වන්නේ, ඔහු මෙතැනට මුලින්ම පැමිණ ඇත්තේ පොත් කඩයක වැඩ කිරීම සඳහාය. එහෙත්, ටික කාලයකින් තමන්ගේම කියා පොත් කඩයක් මේ ස්ථානයේ විවෘත කිරීමට ඔහුට හැකි වී ඇත. ඔහු ආ ගමන හා ඔවුන් විඳින දුෂ්කරතා ගැන ඔහු අපට පැවැසුවේ මෙවැන්නකි.
“1986 දී තමයි මම සේවකයෙක් විදිහට මෙතැනට ආවේ. ඉස්සර මෙතැනට විදුලියවත් තිබුණේ නැහැ. පෙට්‍රල් ලාම්පු පත්තු කරගෙන තමයි අපි හිටියේ. මුල් කාලේ අපට එහෙම ලොකුවට බිස්නස් තිබුණෙත් නැහැ. හැබැයි දැනට වඩා ලොකු පිරිසක් ඒ කාලේ කියවන්න හිටියා. 88/89 ප්‍රශ්න එක්ක සමහරු මේ රට අතහැරලා ගියා. අපේ පාඨක පිරිස ක්‍රමයෙන් අඩු වුණා. ඉස්සර වගේම පොත්වලට කැමැති පිරිසක් ආයේ මෙතැනට එනවා දකින එක තමයි මගේ කැමැත්ත. ඉස්සර පවුල් පිටින් පොත් ගන්න එනවා දකින්නත් ආසයි. මම ළඟ සිංහල, ඉංග්‍රීසි දෙවර්ගයේම පොත් තියෙනවා. ඊට අමතරව අලුත් පොතුත් තියෙනවා. මෙතැන අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉඩ මදිකම. පාකින්වලට ඉඩ නැහැ. කොටින්ම කිව්වොත් සනීපාරක්ෂක පහසුකම් මුකුත්ම නැහැ.”
 
පොත් කඩ හිමියන්ට අමතරව කියැවීම සඳහා පොත් රැගෙන යන්නට පැමිණි තරුණයෙක් ද මම කතාබහට සම්බන්ධ කරගතිමි. ඔහු පැමිණ තිබුණේ කුරුණෑගල සිටය. වෘත්තියෙන් ඔහු වායු සමීකරණ ශිල්පියෙකි.
 
“මම පොත් පත් කියවන්න ඉතාම කැමැති කෙනෙක්. ගාමිණී හෝල් එක ළඟ පරණ පොත් විකුණන පොත් කඩයක් තියෙනවා කියලා මට ඔත්තුව දුන්නේ මගේ යාළුවෙක්. මම මීට කලින් මෙතැනට ඇවිල්ලා නැහැ. මම එක පාරක් BMICH එකේ පොත් ප්‍රදර්ශනයටත් සහභාගි වෙලා තියෙනවා. මම මෙතැනට ආවේ පොත් බැහැරට දෙන ව්‍යාපෘතියෙන් පොතක් ගෙනියන්න. අපට කියවන්න කාලයක් දීලා පොත් මාරු කරන වැඩේ පොත් කියවන්න ආස අපට මරු වැඩක්. මාසෙටම 150ක් වගේ තමයි ගන්නේ. ඒත් ඩිපොසිට් එකක් තියලා තමයි අපි පොත් අරන් යන්න ඕනෑ. මේක හරි පහසු වැඩක්.” 
 
මම ගාමිණී හෝල් හි පරණ පොත් කඩ පේළියේ දකුණු කෙළවරේ සිට වමට ඇවිදගෙන පැමිණියෙමි. එහි අපට මුලින්ම හමුවන්නේ පීටර්ස් බුක් ෂොප්ය. ඉන් පසු පිළිවෙළින් ප්‍රේමදාස, වර්ණසූරිය, ප්‍රේමසිරි, සරත්, සුමුදු, ප්‍රියංකර බුක් ෂොප් අපට හමු වේ. මෙම පොත් කඩ ආරම්භ කළ පුරෝගාමින්ගෙන් සමහරුන් ජීවතුන් අතර නැතත්, ඊළඟ පරම්පරාව මේවා පවත්වාගෙන එන්නේ ව්‍යාපාර අරමුණටත් වඩා පොත්පත්වලට තිබෙන ආදරය නිසාය. සමහරු කුලියටත් මෙම ස්ථානයේ පොත්හල් පවත්වාගෙන යති.
 
පොත් ගැනීමට පැමිණි තවත් අයකු සමග කතාබහක් හදාගත්තේ මේ ස්ථානයේ සැබෑම වටිනාකම ඔවුන්ගේ මුවින් ද අසා දැනගැනීමට තිබෙන ආසාවෙනි. මහින්ද තෙන්නකෝන් වෘත්තියෙන් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයෙකි. ඔහු පිය පවුල සමග මෙම ස්ථානයට පැමිණ තිබුණේ පළමු වතාවටය. මේ, ඔහු කියූ කතාවයි.
 
“ඇත්තටම පොත්වලට ආසා හැමෝටම මේක වටිනා තැනක් විදිහටයි මම දකින්නේ. නිවාඩු දවසේ නෙළුම් කුලුන බලන්න ආපු ගමන් මෙතැනටත් අපිට එන්න හිතුණා. සැප්තැම්බර් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයටත් අපි සහභාගි වෙනවා. කෑගල්ලේ ඉඳන් තමයි අපි ආවේ.”
 
කියැවීමටම ඇබ්බැහි වූ යුගයක් පෙර කාලයේ තිබූ බව, පොදුවේ මෙහි සිටින වෙළෙඳ මහත්වරුන්ගේ අදහසය. 
 
තාක්ෂණය පැමිණීමත් සමග කියැවීමේ ඇල්ම ද ක්‍රමයෙන් මගහැරී තිබේ. එහෙත්, දැන් දැන් අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගන්නා සිසු දරු දැරියන් පොත් හොයාගෙන මෙතැනට එන පුරුද්දක් තිබෙන බව අපට පැවැසුවේ සංජයය. එයට හේතුව වී තිබෙන්නේ, එම පාසල්වල විෂය නිර්දේශයේ කියැවීමට සුදුසු පසුබිමක් නිර්මාණය වී තිබීමය. දැන් නැවතත් තරුණ පරපුර මේ ආකාරයට හෝ කියැවීමට පෙළඹෙනවා නම් අනාගතයට එය සුභදායි ආරංචියකි. මේ මොහොතේ කිහිප දෙනෙක්ම ගාමිණී හෝල් පරණ පොත් කඩ සමීපයේ සිටිති. පොඩි අය මෙන්ම මැදි වයසේ අය ද සිටිති. මේ වන විට පරණ පොත් කඩවල කට්ටිය අලුත් තාක්ෂණය සමග ද බද්ධ වී සිටිති. ඕනෑ නම් දුර පළාත්වල අයට මෙතැනට නෑවිත් වෙබ් සයිට් හරහා ඔන්ලයින් මාර්ගයෙන් ද පොත් ඕඩර් කරගත හැකිය. මේ කටයුත්තට මේ අය පෙලැඹී තිබෙන්නේ කොරෝනා කාලයේය. දැන් මේ වන විට අන්තර්ජාල පොත් වෙළෙඳාමත් දියුණු වී, තවත් නවීන අංගෝපාංග රැසක් ගාමිණී හෝල් පොත් සංස්කෘතියට එකතු වී හමාරය.
 
 
මෙතැන පොත් වෙළෙන්දන්ට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ, ඉඩකඩ ප්‍රශ්නයයි. සමහර විටක ඉදිරි සංවර්ධන වැඩවලදී මේ ස්ථාන කැඩීමට පවා නියමිතව තිබෙන බවට ආරංචි පැතිර තිබේ. මෙහි වෙළෙඳ මහත්වරු කියන්නේ සංවර්ධනයට කැමැති වුවත්, එසේ වෙනවා නම් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙසය. මෙතැනට දැන් බොහෝ අය පුරුදු වී සිටින නිසා මේ ස්ථානයේ ගැවැසී පොත් ගන්නට බොහෝ දෙනා කැමැතිය. මෙය සංචාරක ව්‍යාපාරයත් සමගින් සම්බන්ධ වන නිසා ඊට සමගාමීව ගාමිණී හෝල් පොත් කඩත් නවීකරණය කළ හැකි බව මෙම වෙළෙඳ මහත්වරුන්ගේ අදහසයි. සමහර විදේශිකයන් මෙතැනින් පොත් අරගෙන යන්නේ, මේ පොත් ඒ රටෙත් නැති බව ප්‍රකාශ කරමින් බව ද වෙළෙඳ මහත්වරු පවසති.
 
මේ සැප්තැම්බර් මාසයයි. එනම්, සාහිත්‍ය මාසයයි. ඊළඟට එළැඹෙන්නේ ඔක්තෝබර් මාසයයි. එනම්, කියැවීමේ මාසයයි. කියැවීමේ මාසයට පොතක් දෙකක් හොයා ගන්නට මේ මාසයේ ගාමිණී හෝල් පරණ පොත් කඩ පේළියේ රවුමක් දෙකක් ගැහුවාට වරදක් නැති බව අවසාන වශයෙන් ලියා තබමි.
 

සටහන හා ඡායාරූප
අමිල චින්තක ගමගේ



අදහස් (0)

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 46 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 26 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 35 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 43 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 22 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 60 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site