මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචනා කරන ලද “කතුවැකි විමර්ශන” හා “රෝසමල් කුමාරයා” නමැති කෘති ද්විත්වය පසුගියදා කොළඹ දී එළිදැක්විණි. රෝසමල් කුමාරයා කෘතිය සඳහා කතුවරයා පාදක කරගෙන තිබෙන්නේ - ඈත සිරියාවේ එක් ප්‍රත්‍යන්තයක විසූ මල් විකිණූ එහෙත් යුද්ධය නිසා දිවි අහිමි වූ දරුවකුගේ අතිශය සංවේදී කතා ප්‍රවෘත්තියකි. යුද්ධයේ ඇති කෲරත්වය, මනුෂ්‍යත්වය, අධිෂ්ඨානය මේ ආදී ගුණාංග රැසක් උත්කර්ෂයට නංවන මේ යොවුන් නවකතාව පිළිබඳ ව කතුවරයා සමග පැවැත් වූ සාකච්ඡාවක සටහන මෙසේ ය.
මාධ්‍යවේදියෙකු, කවියෙකු සහ තීරු ලිපි රචකයෙකු වෙන ඔබ රෝසමල් කුමාරයා කෘතියෙන් යොවුන් නවකතාව නමැති සාහිත්‍යය ශානරය ස්පර්ශ කරනවා. ඒ පසුබිම පැහැදිලි කළොත්?
යොවුන් සාහිත්‍යය මට ආගන්තුක වූවක් නොවෙයි. මගේ පළමු යොවුන් සාහිත්‍ය කෘතිය පළවුණේ මීට දශක දෙකකටත් පෙර. ඒ පොතේ නම ’චාරිකා විත්ති’. පාසල් අධ්‍යාපනය ලබන නව යොවුන් කණ්ඩායමක් විවිධ පළාත්වල හිත ගිය තැන්වල ඇවිදිමින් ලැබූ වින්දනය සහ අත්දැකීම් පිළිබඳ සම්භාෂණයක ආකෘතියෙන් එය ලියැවුණේ. මීට වසර 13 කට පෙර මා පළ කළ ‘%නොනිදන රැය’ නවකතාව යොවුන් සාහිත්‍ය කෘතියක් හැටියට මා නම් නොකළත් - එහි තේමාව වුණෙත් යෞවනයෙකු මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ ඉලක්කයක් ඇතිව ඉදිරියට යන්නට දරණ උත්සාහයයි. මේ පොතෙහි හරය ගැඹුරින් මතු කරමින් මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ විචාරය මගේ සාහිත්‍යකරණයට දිරිදීමක් වුණා. ඒ අනුව බැලුවම රෝසමල් කුමාරයා මගේ තෙවැනි පියවරයි.
මේ නිර්මාණය සඳහා මගේ කිසි ම සාහිත්‍ය කෘතියකදී නොකළ කැපවීමක් කළා. කතාවේ තේමාත්මක මුවහත පිළිබඳ සැලකිලිමත් වෙමින් සෑහෙන කාලයක් ගත කළා. මේ වන විට ඒ පොත කියවූ පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මගේ උත්සාහය යම් පමණකට මල්ඵල දරා ඇතැයි අහිංසක සතුටක් මට තියෙනවා.
නවකථාව කියන්නෙ පරිකල්පනය හා යථාර්ථය අතර ආඛ්‍යානයක්. රෝසමල් කුමාරයා කියන්නෙත් එවැනිම සංකලනයක් ද?
ඔබ නිවැරදියි. සාහිත්‍ය නිර්මාණයක් යනු යථාර්ථය සහ පරිකල්පනයෙහි සංකලනයෙන් උපදින අමුතු වස්තුවක්. මේ දෙකෙහි සීමාව සහ අනුපාතය මෙයාකාරයි යනුවෙන් කඩඉමක් දැක්වීම අමාරුයි. අපේ රටේ පමණක් නොව ලොව ඕනෑම රටක සාහිත්‍යයට මෙය පොදුයි. යොවුන් සාහිත්‍යයට අදාළ ව ගත්තොත් කොරල් දූපත කෘතියටත් මඩොල්දූවටත් මෙය අදාළයි. මඩොල්දූවේ උපාලි හා ජින්නා ඇතුළු යොවුන් කණ්ඩායම දූපතකට ගොස් කරන දේවල් පරිකල්පනයෙන් ගොඩ නගන්නේ. යොවුන් වියේ ඕනෑම දරුවෙකුට ඒ විදියේ සිහින තිබෙනවා. හැබැයි එහි ඇතුළත් කෙරෙන මිනිස් චර්යා, සත්‍ය ලෝකය එහෙම නැත්නම් යථාර්ථය අනුව අප සැබෑවට ම දකින දේවල්. ඒක පොදු සත්තාවක්. ලේඛකයෙකු යථාර්ථවාදී නවකතාවක් ලියනවා යැයි සිතා සත්‍ය සිදුවීම් පිටපත් කරන්ට ගියොත් එහි සාහිත්‍ය නිර්මාණාත්මක අගය හීනවෙනවා.
වාර්තාවක් බවට පත් වෙනවා. සැබෑ ලෝකයෙහි දකින සිදුවීම් අත්දැකීම් මට්ටමෙන් ඔබ්බට ගෙන එහි සාරය අරගෙන පරිකල්පනයෙන් අලුත් අත්දැකීමක් බවට පත්කිරීමයි සාහිත්‍යකරුවා කරන්නේ. අපේ රටේ ඒ සඳහා හොඳම උදාහරණය ගම් පෙරළිය. ගාර්ෂියා මාකේෂ් ගේ හුදෙකලාවේ සියවසක් කෘතිය ගත්තොත් එහි අපට බැලූ බැල්මට පෙනෙන අධියථාර්ථවාදී සන්දර්භය පතුළේ තිබෙන්නේ පරම්පරා ගණනක ඓතිහාසික පුරාවෘත්තයයි. එනම් යථාර්ථයයි. රචකයා නිර්මාණාත්මකව ගොඩනගන වියමන අනුව යථාර්ථය සහ පරිකල්පන ලෝකය අතර බෙදුම් රේඛා ලකුණු කිරීම අමාරුයි. ඒ තමයි සාහිත්‍යකරුවාගේ ප්‍රතිභා මහිමය. හැබැයි ඒ කෘතියෙහි වින්දනීය අවකාශය සහ පාඨකයාගේ ප්‍රඥාව අමතන ගුණය අනුව තමයි මේ දෙකෙහි සංකලනීය ප්‍රතිඵලය තීන්දු වන්නේ.
සිරියාවේ ප්‍රත්‍යන්ත ජනපදයක හුදකලා වූ මල්විකුණන යෞවනයෙකුගෙ කතාවක් පාදක කරගෙන ලාංකේය පාඨක සමාජය ආමන්ත්‍රණය කිරීම අභියෝගයක් වුණේ නැද්ද?
රෝසමල් කුමාරයා කතාවට ආත්මය හා ජීවය දුන්නේ පාරිස් අල් කොදෝර් නම් වූ එම චරිතයයි. මෙය මා හද සසල කළ චරිතයක්. අවුරුදු 12 දි යුද්ධයේ ගොදුරුවක් ව මිය ගියත් මේ යෞවනයා මිනිස් සමාජයට ඉතිරිකර ගිය අධිෂ්ඨානය, ජීවන ලාලසාව, මිත්‍රශීලි බව, අභියෝග හමුවේ නොසැලීම, කඳුළු සඟවාගෙන හැකි තාක් සතුටින් ජීවත් වීම යනාදී කරුණු බැලූ විට ලොව ඕනෑම තැනක මෙබඳු දරුවන් හමු වෙනවා. එය සිරියාවට සීමාවූ සත්‍යයක් නොවෙයි. නුවරඑළිය ලබුකැල්, පලාගොල්ල ප්‍රදේශයෙහි මග අයිනේ සුන්දර මල් පොකුරු විකුණන දරුවන් අතරත් මෙබඳු දරුවන් හමුවෙනවා. රත්න ශ්‍රී විජේසිංහ ලියූ සුදු නෙලුම කෝ සොරබොර වැවේ ගීතයෙහි අත්දැකීම වන්නේත් ජීවන යුද්ධය නිසා නෙලුම් මල් නෙළන්නට ගොස් මිය ගිය දරුවකු ගැන. ඉතින් ලොව කොතැන ජීවත්වුණත් ආයුධවලින් කෙරෙන යුද්ධය හා ජීවන යුද්ධය නිසා ජීවන අභියෝගවලට මුහුණ දෙන දරුවන් පිළිබඳ සත්තාව පොදු එකක්. එනිසා සිරියාවේ දරුවකුගේ කතාව ග්‍රහණය කරගෙන නුවරඑළියේ දරුවකුගේ ජීවන විත්තිය සාහිත්‍ය කෘතියකට ප්‍රස්තුත කරගැනීම මට රුචිකර දෙයක් වුණා. හැබැයි එය අභියෝගයක් තමයි. මා තවමත් එහි අභියෝගය නිසා ඇතිවූ සසලවීමෙන් තමයි ඉන්නේ. රෝසමල් කුමාරයා ලියන්නට පෙර වසර කිහිපයක් නුවරඑළියේ මල් විකුණන දරුවන්ගේ ජීවන පරිසරය අධ්‍යයනය කළා. සිරියානු යුද තත්ත්වය අධ්‍යයනය කළා. ඒ ගැන විස්තරාත්මක ව සටහන් තැබුවා.
පුංචි පොතකුත් ලීවා. නුවරඑළිය, පලාගාල්ල පරිසරයෙහි මල් විකුණන දරුවකු පිළිබඳ හද සසල කරවන පුවතක් නිසා සිරියාවෙ දරුවා සහ එම දරුවාගේ ආත්මය එකක්මය කියන හැඟීම ඇතිවුණා. මේ නවකතාවෙදි ජීවත්වන දරුවා සහ මියගිය දරුවා මුණගස්වන්න මට ඕනැ වුණා. එය විශාල මානසික අභ්‍යාසයක්. මා විශාල කම්පනයකට ලක් කළ අත්දැකීමක්. කෘතිය නිමා කළේ ඒ කම්පනය ඇතුළෙන්මයි. එය වචනවලට නැගීම අතිදුෂ්කර වුණා.
ඊට හේතුව මා එම චරිත බවට පත් වූ අවස්ථා බහුල වීමයි. කිසිවක් කරකියාගත නොහැකි ව අසරණ ව සිටිය අවස්ථා බොහොමයි. අවසන් පිටුව ලිව්වේ දුෂ්කර වෑයමකින්. මෙහි වෙනස් ආකෘතියක් ඇති වුණෙත් මේ අභියෝගය නිසයි. ලියුම්, කවි, වට්ස්ඇප් දෙබස්, අඳුරු කඳු, මල්වල වර්ණ මේ සියල්ල කතාවේ සන්දර්භය ගොඩ නැගුවා. පොත පළවී දින කිහිපයක් ගතවුණත් රෝසමල් කුමාරයා තවම මා සමග කතා කරනවා.
ඔබේ පූර්ව නිර්මාණවල පොදු ලක්ෂණයක් තමයි මනුෂ්‍යත්වය හා ජාතිවාදී විරෝධී ආකල්ප ප්‍රබලව මතු කිරීම. සිරියාව වගේ යුද ගැටුම් නිතර වාර්තා වෙන රටක රෝසමල් කුමාරයා කෘතියෙනුත් ඒ පොදු මානව ගුණාංග ධ්වනිත කිරීම ඔබේ අරමුණ වුණා ද?
ඔව්. සාහිත්‍යකරුවාගේ විෂය ලෝකය ගෙදරට, ගමට හෝ රටට සීමා වන්නේ නැහැ. මුළු ලෝකයම එකම මිනිස් පවුලක් හැටියටයි ඔහුට දැනෙන්නේ. එය නොදැනෙන සාහිත්‍යකරුවාට සැබෑ සාහිත්‍යකරුවකු විය නොහැකියි. යුද්ධය නිසා දිනපතා මිනිසුන් මිය යනවා. ඒ අතරින් ළමයින් විශේෂයි. ඔවුන් ජීවිතය දෙන්නේ තමන් නොකළ වරදකට. ඇමෙරිකාව බ්‍රිතාන්‍යය සමග එක්ව කුවේට් රටේ කළ ඊනියා මානුෂික මෙහෙයුම නිසා දරුවන් ලක්ෂ ගණනක් මිය ගියා. චෙච්නියා ගරිල්ලන් බෙස්ලන් පෙරපාසලක් පුපුරුවා හැරීමෙන් දරුවන් තුන්සිය ගණනක් මිය ගියා. මීට කලකට පෙර මා කිලිනොච්චියෙහි ළමා කඳවුරක් බලන්නට ගියා. යුද්ධය නිසා මවුපියන් අහිමි වූ දරුවෝ. ඒ දරුවන් තමන්ගෙ මවුපියන් යැයි හිතාගෙන තමන් ළඟට එන වැඩිහිටියන්ගෙ අතේ එල්ලෙනවා. තලේබානුන්ගේ ක්‍රෑරත්වය නිසා ඇෆ්ගනිස්ථානයේ දරුවන් විඳින දුක විෂය කරගත් kites runner (සරුංගල් ලුහුබඳින්නා) කෘතිය විශිෂ්ට එකක් වන්නේ එය සත්‍ය අත්දැකීම් ඇසුරෙන් උපන් නිර්මාණයක් වීම නිසාම නොවෙයි. දරුවන් කෙරෙහි එල්ලවන පීඩාවන්ට එරෙහි ව මනුෂ්‍යත්වයේ බරඅවි එසවීම නිසයි.
මේ විදියට ලෝකය පුරා ම බල තණ්හාව හා ජාතිවාදය නිසා වැඩිහිටියන් කරන යුද්ධයෙන් වැඩියෙන්ම දුකට පත්වන්නෙ දරුවෝ. සිරියාවෙ ගමකට එල්ල වූ ගුවන් බෝම්බ ප්‍රහාරයකින් පාරිස් නම් දරුවා මිය ගිය සිද්ධිය ලොව පුරා ප්‍රසිද්ධ වුණේ ඔහු විශේෂ දරුවකු වූ නිසා. මෙවැනි සිදුවීම් සාහිත්‍ය නිර්මාණවලට හොඳ මූලාශ්‍ර ජාතිය, ආගම සහ බලතණ්හාව නිසා කෙරෙන බිහිසුණු යුද්ධවලට එරෙහි වීම සාහිත්‍යකරුවාගේ වගකීමක්. එය ඔහුගේ අභ්‍යන්තරයෙන් එන ගැඹුරු හැඟීමක්. රෝසමල් කුමාරයා කෘතියෙහි දී මගේ ආත්මය එහි අභ්‍යන්තරයට ඇතුළු වීම නිරායාසයෙන් සිදුවූවක්.
මේ වෙනකොට පොත් 50 කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති ඔබ ඉදිරියේදී වෙනත් සාහිත්‍ය ශානර ස්පර්ශ කිරීමට අදහස් කරනවා ද?
කෙටිකතා එකතුවක අවසන් සංස්කරණ කටයුතු කරමින් ඉන්නවා. කාලයක් තිස්සේ ලියැවුණු කවි නැවත සකස් වෙනවා. විසිරුණු වස්තු බීජ තැබිය යුතු සන්දර්භ පිළිබඳ සිතනවා. නිර්මාණකරණයෙහි දී පූර්ව විනිශ්චයෙන් තොරව, නොහිතන දිශානතිවල පෑන හැසිරෙන්න පුළුවන්. සමහර සාහිත්‍ය නිර්මාණ, නිර්මාණකරුවාගේ ආධිපත්‍යයෙන් මිදී ස්වාධීනත්වය සොයන අවස්ථා තියනවා. එහි හැඩය එහෙම නැත්නම් ශානරය අලුත් විය හැකියි. ඒ සත්‍යය මටත් පොදුයි.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ
විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.
වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.
දිගාමඬුල්ලේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන වසන්ත චන්ද්‍රපාල ගේ “වනදිවි සරණිය” ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භය සහ ඔහුගේ මාධ්‍ය ජීවි
මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් රචනා කරන ලද “කතුවැකි විමර්ශන” හා “රෝසමල් කුමාරයා” නමැති කෘති ද්විත්වය පසුගියදා කොළඹ දී එළිදැක්විණි.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසූ මහා ළැව්ගින්න - 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව්ගින්නෙන් සිදුවුණු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මේ නිර්මාණය සඳහා මගේ කිසිම සාහිත්‍ය කෘතියකදී නොකළ කැපවීමක් කළා